Saturday, 18 May 2024

ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකත්වය සහ හිතවතුන් වෙත කරන සහෝදරාත්මක ආරාධනාවක් - June 2008

 

ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකත්වය සහ හිතවතුන් වෙත කරන සහෝදරාත්මක ආරාධනාවක්

ජනතා විමුක්ති පෙරමුණ තුළ මතු වුන අර්බුදකාරී තත්වය පිළිබඳව වඩා ගැඹුරින් සලකා බැලීම වැදගත් දෙයක්. ඒ අනුව එදා සහ අද අතරත්, සමස්තයක් වශයෙන් ජේවීපී විකාශනය තුළත් සිදු වී ඇතැ යි මම කල්පනා කරන ඇතැම් කරුණු පිළිබඳව සටහනක් කරන්නටත්, එම කරුණු සහෝදරාත්මක ලෙස ඔබේ අවධානය වෙත ඉදිරිපත් කරන්නටත් මම කල්පනා කළා. එම කරුණු සලකා බලා ඒ පිළිබඳව නිවැරදි අදහසක් කරා එළඹීම ඔබේ යුතුකමක්, වගකීමක් සහ අයිතියක් ලෙස මම සලකනවා. විවාදයකට වඩා සංවාදයක ආරම්භයක් ලෙස මේ ගැන සිතනවා නම් වඩා උචිතයි. මෙහි කරුණු සඳහන් කර ඇත්තේ ඉතා සැකෙවින් හෙයින් ඒ පිළිබඳව සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීමට ඔබ කැමති වේ නම් මම එය ඉතා අගය කරනවා.

මෙම අර්බුදය විවෘත ලෙස කරළියට එන්න ආසන්න හේතුව වශයෙන් පෙනෙන්නට තිබුණේ ටීඑම්වීපී එක ගැන ජේවීපී විවිධ කණ්ඩායම් දක්වපු වෙනස් ආකල්පයන්. එහෙත් එම අර්බුදයට බලපාපු හේතු වර්ධනය වුණේ මෙයට බොහෝ කලකට පෙර සිටයි. එම හේතු ගැන සැකෙවින් බැළුවොත් මුලින්ම ඇතිවූ බව පෙනෙන්නේ, අතිශයින් පුද්ගලික වූ දේශපාලනික නොවන කරුණුයි. සියළු දෙනාම සිටියේ එක දේශපාලන මතයක බවයි පෙනුණේ. එම පුද්ගලික මතභේදවලට බලපාපු දේශපාලන හේතුව හැටියට මම දකින්නේ, සභාග දේශපාලනය තුළට ගොස් ජේවීපී ය ඒ තුළ ගිලී යාමේ සංසිද්ධියයි.

ජේවීපී දෙකඩ වීමට ආසන්නවම බලපාපු හේතුව ගැන බලමු. ටීඑම්වීපී කණ්ඩායම නිරායුධ කළ යුතු යැයි ද, ඔවුන් ක‍්‍රියා කරන්නේ ඉන්දියානු පාලක පන්තියේ අවශ්‍යතා ඉටු කිරීමට යැයි ද එක කණ්ඩායමක් කියා සිටි අතර, ටීඑම්වීපී ය එල්ටීටීඊ යෙන් ඉවත් වූ පසු රජයේ හමුදා සමග එල්ටීටීඊ යට විරුද්ධව සටන් කළ නිසාත්, ඔවුන් එල්ටීටීඊ තර්ජනයට ලක්ව සිටින නිසාත්, ටීඑම්වීපී ය නිරායුධ නොකළ යුතු යැයි තවත් කණ්ඩායමක් කියා සිටියා. ටීඑම්වීපී ය එල්ටීටීඊ යේ මාරාන්තික ප්‍රහාරවලින් බේරී සිටීමට වඩා, යූඇන්පිය සහ ජේවීපී ය ඇතුළු විරුද්ධ පක්ෂවලට තර්ජනය කිරීම් සහ පහර දීම් වල ද, රජයට සම්බන්ධ ඇතැම් කොටස්වල සහයෝගයත් ඇතිව ඡන්ද මංකොල්ල කෑමේ ද නිරත වූ බවට වාර්තා ලැබී තිබෙනවා. මේ අනුව බලන විට, ජවිපෙ කණ්ඩායම් අතර ඇති වී තිබෙන ප‍්‍රශ්නය, රජයේ න්‍යාය පත්‍රයට වඩා හොඳින් කොටස්කරුවන් වන්නේ කෙසේ ද යන්න බවයි මට හැඟෙන්නේ. මෑතක දී කරන ලද ප්‍රකාශවලට අනුව, යුද අපරාධවලට සම්බන්ධ වී යැයි චෝදනා එල්ල වී ඇති පාලක පන්තියේ කොටස් මුළු වෙර යොදා ආරක්ෂා කරන තැනක යි ජවිපෙ සියළුම කොටස් සිටියේත්, අද සිටින්නේත්.

ජවිපෙ සමග ඇති වූ ප‍්‍රධාන පෙලේ මතවාදීමය සහ ප්‍රායෝගික වෙනස්කම් නිසා 1983 ජුනි මස මම ඉල්ලා අස් වෙන්නට තීරණය කළා. 1983 කළු ජූලිය පිටුපස සිටියේ ජවිපෙ යැයි බොරු චෝදනා එල්ල කොට, මා ඇතුළු 30 ක් පමණ දෙනා සීඅයිඩී යේ හතරවන තට්ටුවේ රඳවා තබා ගත්ත නිසා, ජවිපෙ සමඟ ඇතිව තිබූ වෙනස්කම් ගැන මට කතා කරන්නට වත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පෙර 1983 පැවති මැයි දින රැළියේ ප‍්‍රධාන තේමාව රැඳුණේ, සභාග දේශපාලනයට සහමුලින්ම විරුද්ධවයි. ධනේශ්වර පන්තිය විසින් සිදු කරන  ඕනෑම ප්‍රගතිශීලී කටයුත්තකට සහයෝගය දීමත්, ජනතාවගේ අයිතීන් කප්පාදු කරන අන්දමේ  ඕනෑම කටයුත්තකට එරෙහි වීමත් සභාග දේශපාලනයෙන් පිටත ඉඳ ගෙන කරන්න පුළුවන් දෙයක්. මා ඉල්ලා අස්වීමෙන් පසුවත්, 1990 ගණන්වල අග භාගය වන තෙක් ජවිපෙ සභාග දේශපාලනයට පිවිසුණේ නැහැ.

වර්ධනය වෙමින් පවතින ජාතික ගැට‍ළුවට ජවිපෙ ජාතිකවාදී ප්‍රවේශයක් අවධාරණය කළේ, 1987ට පසු කාලයක දී යැයි මම සිතනවා. දෙමළ මලයියහ (වතු කම්කරු* සහ මුස්ලිම් ඇතුළු සියළු ජන කොටස්වල ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරනවා වෙනුවට, උද්ඝෝෂණය කරනවා වෙනුවට, රජයේ සියළු මර්ධනකාරී ක්‍රියාකාරිත්වයන් රජයටත් වඩා හොඳින් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වුණේ ජවිපෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලිඛිත ව පොරොන්දු කරවා ගැනීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිනිය කරන්න ජවිපෙ 1994දී සහයෝගය දුන්නා. ජනාධිපතිනිය බවට පත් වුනාට පස්සේ, ඇය දී තිබුණු පොරොන්දුව එහෙම ම අහෝසි කර හැරියා. එම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, අඩු තරමින් ජවිපෙ වත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ.

2001 මැතිවරණයේ දී ආසන 16 ක් දිනා ගෙන ජනතාව අතරේ තවත් ඉදිරියට යමින් සිටින අවධියක දී තමයි, යූඇන්පිය රට එල්ටීටීඊ යට පාවා දෙනවා යැයි කියමින්, සිංහල ජාතිකවාදී බලවේග සමග ජේවීපී ය අත්වැල් අල්ලා ගත්තේ. ජවිපෙ ප්‍රචාරක ලේකම් දේශ හිතෛෂී ජාතික පෙරමුණේ (ඩීජේවී) උප සභාපති බවටත් පත් වුණේ එතැන් පටන්. ජවිපෙ අධිරාජ්‍ය විරෝධය යයි කියා පෑවේ ජාතිකවාදයටයි. අධිරාජ්‍ය විරෝධයත් ජාතිකවාදයත් මිශ්‍ර කොට ඉදිරිපත් කරමින්, ජන කොටස් අතර ජාතිකවාදී ගිනි අවුළුවා ලමින්, රටේ ජාතිකවාදී දක්ෂිණාංශික බලවේග සමගි කර ලීමට මහා පරිමාණයෙන් ක‍්‍රියා කළේ ජවිපෙ යි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කොට ආසන හතළිහක් දිනා ගැනීම සඳහා ජවිපෙ ඓතිහාසික නාමය සහ එය ගොඩනැගීම සඳහා ජීවිත කැප කිරීමෙන් කටයුතු කළ සගයින්ගේ වැඩ කටයුතු පාවා දීමයි. විකුණා ගෙන කෑමයි.  එදා පටන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ප‍්‍රධාන කොටසක් ලෙස ක‍්‍රියා කරමින් සිටි ජවිපෙ, දැන් යුද්ධයේ ආර්ථික බර රජය විසින් වැඩ කරන ජන කොටස් මත පටවන විට, ඊට පමණක් තමන් සම්බන්ධ නැතැ යි කියා සිටින්නේ කොහොම ද?

මෙම පන්ති සහයෝගීතාවය තවත් ඉදිරියට ගෙන ගොස් 2004 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සභාගයක් හදා ගත්තා, එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා. මෙම රජයත්, ජනාධිපතිතුමාත් බලයට ගේන්න මුළුමනින් බර ඇද්දේ ජවිපෙ යයි කියුවොත් නිවැරදි යයි මම කල්පනා කරනවා. මහින්ද චින්තනය ලිව්වේ ත්, එය මහා හඬින් ප්‍රචාරය කලේත් ජවිපෙ නායකයන් නොවේ ද? දැන් රජයටත් ජනාධිපතිවරයාටත් පමණක් දොස් කීමෙන්, ජවිපෙට වගකීමෙන් මිදෙන්න පුළුවන් ද? එපමණක් නොවෙයි, නැගෙනහිර පළාතේ එල්ටීටීඊය වී සිටි ටීඑම්වීපී එක බලවත් කරන්නත්, ආයුධ සන්නද්ධව තබා ගන්නත්, මේ මෑතක් වන තෙක් සහාය දැක්වූයේ ජවිපෙ නොවේ ද?

රටේ වර්ධනය වන සමාජ ආර්ථික අර්බුදය විසින් එම සමාජයේ පවතින සියළුම ආයතන අර්බුදයට ලක් කර සිටින බව මම විශ්වාස කරනවා. 1960 ගණන්වල මුල් භාගයේ දී වර්ධනය වුණු ධනේශ්වර අර්බුදය විසිනු යි, එදා පැවති වාමාංශික පක්ෂ ධනේශ්වර පක්ෂ සමග සභාග දේශපාලනයට යොමු වී, වැඩ කරන ජනතා කොටස් පාවා දුන්නේ. ජවිපෙ බිහි වුණේ එම ගර්භාෂයෙන්. ධනපති කඳවුරෙන් පිට පවතින ස්වාධීන වමේ බලවේගයක් පිළිබඳ මතය, අතරමග සමාදානයෙන් තොරව ජවිපෙ විසින් ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලය වුණේ, වසර පහකටත් අඩු කාලයක දී රටේ ස්වාධීන සහ ප‍්‍රධාන වමේ බලවේගය විදියට ජවිපෙ වර්ධනය වී ඉදිරියට ඒමයි.

සිරගෙදර සිටි කාලයේත්, ඉන් නිදහස් වූ පසුවත්, රෝහණ සහෝදරයා සමග ඉතා සමීපව වැඩ කළ කෙනෙක් හැටියට, මා දන්නා තරමින් ඔහු කියා සිටියේ, අධිරාජ්‍යවාදයට හා ධනපති පන්තියට එරෙහිව ගෙන යන පන්ති සටන සඳහා ස්වාධීන වමේ බලවේගයක් සංවිධානය කිරීමේ ඇති අවශ්‍යතාවය ගැනයි. ධනේශ්වර පාලනවල ගැත්තන් නොවී, ඔවුන්ගේ සභාග ගැටවලට හසු නොවී, ස්වාධීනව ගෙන යන වමේ අරගලයක් තුළින් වැඩ කරන ජනතාවගේ පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගීමේ ඇති අවශ්‍යතාවය ගැනයි. ඒත්, රෝහණ සහෝදරයා නැති වුනාට පසු ධනේශ්වර ආණ්ඩු සමග සභාග හැදුවේත්, ඒවායේ ඇමති පදවි ගත්තේත්, ඉන් ලැබුණු වරප්‍රසාද සහ ඵල ප්‍රයෝජන බුක්ති වින්දේත්, දැන් තිබෙන ජවිපෙත්, අළුත හදා ගත් ජානිපෙ ත් එකට හිටි කාලයේ නොවේ ද? ජානිපෙ දැන් අළුතෙන් කතා කරන්නෙත්, ජවිපෙ අනූ ගණන්වල සිට කරගෙන ආවේත්, දැන් කරගෙන යන්නේත්, රෝහණ සහෝදරයා ඉදිරිපත් කළ දේශපාලනයට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ වූ දේශපාලනයක් නොවේ ද?

සභාග දේශපාලනයට එරෙහි වෙමින් දහස් ගණන් සහෝදර සහෝදරියන් ලෙයින්, කඳුලෙන්, දහදියෙන් ගොඩ නංවන ලද එදා තිබුණු ජවිපෙ අරමුණ වුණේ, මිනිස්සුන්ට මිනිසුන් හැටියට ජීවත් විය හැකි, නිදහස් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමයි. ජවිපෙ ය සම්ප‍්‍රදායික වමේ ව්‍යාපාරයෙන් වෙනස් වූයේ ද ඒ නිසයි. එහෙත් අද වන විට තත්වය කුමක් ද? වම පාවා දීම නොහොත් වම දකුණට හරවා ඔලුවෙන් සිටුවීම, මේ වන විට ජවිපෙ දේශපාලනය වී තිබීම මොන තරම් අවාසනාවක් ද?

අද ජානිපෙ කියා සිටින ඊනියා ඓතිහාසික කාර්ය භාරය අළුත් යමක් නොවන බව අප තේරුම් ගත යුතුයි. 1956 පටන් සිංහල ජාතිකවාදීන් කළේ, ඔය ජානිපෙ දැන් කියා සිටින කාර්ය භාරය ම මිස වෙන දෙයක් නෙවෙයි. සුළු ජාතීන් සමාජ සාධාරණත්වය ඉල්ලා සිටි විටත්, ඉන් පසු බලය බෙදා හරින ලෙස සාමකාමී ව ඉල්ලා සිටි විටත්, ඒ සියල්ල අසාර්ථක වූ පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි විටත් රටේ පැවති ආණ්ඩු කළේ, රජයේ ආයුධ සහ මැර බලය යොදවා එම ඉල්ලීම් පොඩි පට්ටම් කර දැමීමට ක‍්‍රියා කිරීමයි. සිංහල බහුතරය විසින් තෝරා පත් කර ගන්නා ලද සහ නීත්‍යානුකූලව කටයුතු කරනවා යැයි පවසන ලංකාවේ ආණ්ඩු විසින් ක‍්‍රියාත්මක කරන ලද සමාජ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි අන්දමට, පුද්ගල සහ ප්‍රජා ආරක්ෂාවෙන් යුතුව, ආත්ම ගරුත්වයෙන් යුතුව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ අනාගතය තීරණය කිරීමට ඇති අයිතිය නේද, දෙමළ ජනයා ඉල්ලා සිටියේ? 1948 න් පසු ගත වූ වසර 60 ක කාලය තුළ රටේ බලයට පත් වුණු කිසිදු රජයක් විසින් දෙමළ ජනයාට තමන්ගේ භාෂාවෙන් තම කටයුතු කරගෙන යාමේ අයිතිය දුන්නේ නැහැ. රටේ ධනේශ්වර සංවර්ධනය වෙනුවෙන් සියවස් ගණනාවක් සිය දිවි කැප කළ මලයියහ (වතු) කම්කරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳ ප්‍රශ්නයට වත් විසඳුමක් ලබා දුන්නේ නැහැ. දැන් සන්නද්ධ බලය යොදා ගනිමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින විට, ජවිපෙ සහ ජානිපෙ තවමත් කියන්නේ අර පරණ ආණ්ඩු පැවසූ හෝ කළ දේවල්වලට වඩා වෙනස් හෝ රැඩිකල් හෝ වන යමක් නොවෙයි.

ජානිපෙ ත්, ජවිපෙ ත් කියා සිටින්නේ, අධිරාජ්‍යවාදීන් ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවයි. අද පවතින ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ හැම රටක් ම වාගේ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බව ඇත්තයි. ඒත් ලෝකයේ බලගතු රටවල් අපේ හතුරන් කර ගැනීම ඒකට විසඳුමක් නෙවෙයි. ලංකාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලා කරන යුද්ධය නිර්මාණය කලේත්, පවත්වාගෙන යන්නේත් අධිරාජ්‍යවාදී බලවේග විසින් බව ඔවුන් තව දුරටත් කියා සිටිනවා. වෙන් වීම සඳහා කරන යුද්ධය යුදමය වශයෙන් පරාජය කරන්නේ නැතිව, රටේ ජාතික ප‍්‍රශ්නය විසඳන්නට වත්, ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ඇති කරන්නට වත් නොහැකි යයි ද ඔවුන් කියා සිටිනවා. මෙය අළුත් දෙයක් නොවෙයි. අධිරාජ්‍යවාදයේ පැවැත්ම සඳහා, ඔවුන්ගේ යුද නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා, අධිරාජ්‍යවාදය ඕනෑම රටක් තුළ පවතින ප‍්‍රශ්න උපයෝගී කර ගන්නවා. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ, අධිරාජ්‍යවාදීන්ට සහ අනෙක් කුමන්ත්‍රණ කරුවන්ට උපයෝගී කර ගන්නට අවස්ථාවක් නොලැබෙන සේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න සාධාරණ ලෙසත්, යුක්ති සහගත ලෙසත්, සියළු ජන කොටස්වල අයිතීන් තහවුරු වන ලෙසත්, අප විසින් ම විසඳාලීමයි. එසේ විසඳා ලන ලෙස පාලක පන්තියට බල කර සිටීමයි. එදා තිබුණ ජවිපෙට නම් මෙය අළුත් දෙයක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ සඳහන් අයිතීන් ක‍්‍රියාත්මක කරන ලෙස එදා අපි රජයට බල කර සිටියේ ඒ නිසයි. එහෙත් දැන් ඇත්තටම සිදු වී ඇත්තේ, ජවිපෙත්, ජානිපෙ ත් රජයේ න්‍යාය පත්‍රයේ සැබෑ කොටස්කරුවන් බවට පත්වී සිටීම නොවේ ද?

අද ඔවුන් පවසන අන්දමට වම හදා අවසානයි. වමක් ගැන දැන් කථා කළ යුතු ද නැත. අළුතෙන් වමක් හැදීමට උවමනාවක් ද නැත. ඇත්තේ, ධනේශ්වර පක්ෂ දෙකට අභියෝග කරන ආකාරයේ විකල්පයක් හැදීමයි. වහෙන් ඔරෝ භාෂාවෙන් නැතිව මේ ප්‍රකාශය සෘජු ලෙස ප්‍රකාශ කරන්නේ නම්, එහි අර්ථය වන්නේ, දැන් හැදිය යුත්තේ විකල්ප ධනේශ්වර පක්ෂයක් බවයි. මෙයත් අළුත් ප‍්‍රකාශයක් නොවෙයි. මීට වසර ගණනාවකට පෙර ලන්ඩන් නගරයේ පදිංචිව සිටි කාලයේ දී ජවිපෙ නායකයා කියා තිබුණේ ඔය ටික මයි. එහෙම නම්, අර රෝහණ සහෝදරයා උර දුන්නා ය කියන වමේ කාර්ය භාරයට මොකද වුණේ?

අවුරුදු 43ක් තිස්සේ ජවිපෙට රාජ්‍ය බලය අල්ලා ගන්නට බැරි වුණේ, ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනා ගෙන ඒ අනුව වැඩ නොකිරීම නිසාත්, වැරදි උපක්‍රම අනුගමනය කිරීම නිසාත් බව අද ජානිපෙ ය කරන චෝදනාවක්. මෙය ඇත්තක් ද? 1990 ගණන්වල ජවිපෙ ජනතාව අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් පාර්ලිමේන්තුවේ ආසන 16ක් දිනා ගෙන ඉදිරියට ගමන් කරන කාලයේ දී ඔය කියන විදිහට ම ශ්‍රීලනිපය ත් එක්ක සභාග දේශපාලනයට ගියේ, කෙටි කාලයකින් ජවිපෙට බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ ද? ජවිපෙ අනුගමනය කළ මෙම පිළිවෙත, 1964 කාලයේ තිබුණ වාමාංශික එක්සත් පෙරමුණ සභාගයට යාමේ පිළිවෙතින් වෙනස් වන්නේ නැහැ නේද? මේ දෙකම, අර රෝහණ සහෝදරයාම කියපු විදියට, වැඩ කරන ජනතාව පාවා දීමක් නොවේ ද?

වෙනම රාජ්‍යය යන ඉල්ලීම සඳහා දේශපාලන පදනම සපයා තිබෙන ජාතික ගැටලුව පළමුවෙන් දේශපාලන වශයෙන් විසඳන්නේ නැතිව කොහොම ද, සිංහල නොවන ජන කොටස් අතර නැති වී තිබෙන විශ්වාසය තහවුරු කරන්නේ? සංහිඳියාව ඇති කරන්නේ? සමගිය ගොඩනගන්නේ? සමාජ පීඩාවට විසඳුම් සපයන්න දේශපාලන හා නෛතික රාමුවක් බිහි කර, ඒ සඳහා අවශ්‍ය සමාජයීය සංස්කෘතිකමය සහ ආකල්පමය වෙනස්කමි ඇති කිරීමට ක‍්‍රියා නොකොට, ඒ වෙනුවට මේ ප‍්‍රශ්නය විසඳීම සඳහා පළමුව පීඩිතයා විනාශ කර දැමිය යුතු යැයි කියා සිටිය හැක්කේ, පීඩකයා සමග පෙල ගැහුණු කෙනෙකුට පමණක් නොවෙයි ද? පීඩාවට පත්ව සිටින ජන කොටසක් පාගා දමන්නට පීඩකයින්ට අත දෙන සමාජවාදයක් තිබිය හැකි ද? එසේ කරන සමාජවාදියෙක් සිටිය හැකි ද? රෝහණ සහෝදරයා ඝාතනය කිරීම හරි යැයි ජානිපෙ යත්, ජවිපෙත් එකට හිටි කාලයේ සිටි ජවිපෙ නායකයෙක් තමන්ට පැවසුවේ යැයි, 88-89 කාලයේ ජවිපෙට විරුද්ධව යුද්ධ මෙහෙයවපු මේජර් ජෙනරාල් වරයෙක් කියා සිටි විට, ඔය දැන් ඉදිරිපත් කරන න්‍යායයත් එක්ක ඒ කියමන හරියටම ගැළපෙනවා නේද?

1997-98 කාලයේ දී රටේ බලය බෙදා හරින්නට රජය යෝජනා කළ විට ඊට විකල්ප යෝජනාවලියක් වත් ඉදිරිපත් නොකොට රජය ඉදිරිපත් කළ හැම යෝජනාවකින් ම රට දෙකඩ වෙන්නට මග පාදන්නේ යයි පවසමින් ඒවාට විරුද්ධව යාමේ ප්‍රතිඵලය වුණේ, ඊට පසු පැවැත්වූ මැතිවරණයේ දී යූඇන්පිය බලයට ගෙන ඒමයි. එසේ නම් ඊට සහය වුණේ ජවිපෙ නොවේ ද? මේ අන්දමට ගත් විට පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් අත් කර ගැනීමට ජවිපෙ තමන්ගේ සමාජවාදී ආත්මය පාවා දුන්නා යැයි කීවොත් වැරදි ද? වමේ සිටි ජවිපෙ සිංහල බෞද්ධ ජාතිකවාදය වෙත ගමන් ගත්තේ ඔය අන්දමටයි. ධනේශ්වර ආණ්ඩු විසින් අනුගමනය කළ හා කරන ජනතා විරෝධී පියවරවලට විරුද්ධ වන  ඕනෑම පුද්ගලයෙක් හෝ සංවිධානයක්, වෙනම රාජ්‍යයකට හෝ එල්ටීටීඊයට උදව් වෙනවා යැයි කියමින්, එම ආණ්ඩු ආරක්ෂා කිරීමට පූර්ණ සහයෝගය පළ කරන විට ජවිපෙ ය එදා සිටියේ අද ජානිපෙ ය සිටින තැන ම නොවේ ද? සැබෑ සමාජවාදීන් හා ප්‍රගතිශීලීන් මේ මොහොතේ කළ යුත්තේ, මෙම යුද්ධයට එරෙහි වෙමින්, ජාතික ගැට‍ළුවට දේශපාලන විසඳුමක් සපයන ලෙස බල කර සිටීම නොවේ ද?

ජවිපෙත්, ජානිපෙ ත් ත්‍රස්තවාදය පිළිබඳව ලොකු අවුලක පැටලී තිබෙන බව පෙනේ. එක් අතකින් ඇමරිකන් නව ලිබරල්වාදීන් ඉරාකය වැනි රටවල ගෙන යන්නා වූත්, ඉරානයට එරෙහිව දියත් කරන්නට සූදානම් වන්නා වූත් ත්‍රස්තවාදී යුද්ධවලට ඔවුන් විරුද්ධයි. එසේ විරෝධය පෑම සාධාරණයි. ඉරාකයේ හෝ ඉරානයේ හෝ පලස්තීනයේ හෝ ස්වාභාවික සම්පත් කොල්ල කා ගැනීම සඳහා එම රටවල ජන කොටස් එකිනෙකාට එරෙහිව, ජාතික හා ආගමික වෙනස්කම් ඔස්සේ බෙදා වෙන් කර, ගුවන් ප්‍රහාර එල්ල කොට, හමුදා ගොඩ බස්සවා ඒ රටවල සිවිල් ජනයා දිගු කාලීනව විනාශ කර ලන යුද්ධ ප්‍රහාරවල ගොදුරු බවට පත් කිරීම ත්‍රස්තවාදය හැර අන් යමක් නෙවෙයි. ඒ වගේම, මෙම ප්‍රහාරයන් ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදීමත්, ආගමික අන්ත වාදයනුත් මම අනුමත කරන්නේ නැහැ. අධිරාජ්‍යවාදීන්, නව ලිබරල්වාදීන්, ලෝකයේ  ඕනෑම තැනක ඔවුන්ට එරෙහිව පවතින රටවල ආණ්ඩු පෙරලා දමන්නට ඒ රටවල නො විසඳී තිබෙන ගැට‍ළු ත්, ජාතික හා ආගමික වෙනස්කමුත් ප්‍රයෝජනයට ගන්නා බව අප තේරුම් ගත යුතුයි.

ලංකාවේ තත්ත්වය මීට වෙනස් නැහැ. එක අතකින් ඉරාකය වැනි රටවල අධිරාජ්‍යවාදීන් කරන ත්‍රස්තවාදී ක‍්‍රියා හෙළා දකින අතරම, ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අධිරාජ්‍යවාදීන් ඇඟිලි ගසනවා යැයි ප්‍රකාශ කරන අතරම, එම අධිරාජ්‍යවාදීන්ටත් නව ලිබරල්වාදීන්ටත් ලංකාවට පැමිණ දෙමළ ජන කොටස්වල අරගලය මැඩ පැවැත්වීමේ යුද්ධයට ක‍්‍රියාත්මක ලෙස සහභාගී වන ලෙසට ද ඉල්ලා සිටීම ජවිපෙ ත්, ජානිපෙ ත් බංකොලොත්කම පෙන්වා දීමක් හැර අන් කුමක් ද? රටේ තවමත් පවත්වාගෙන යන යටත් විජිතවාදී නීතිරීති යටතේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කිරීම ගැන කට හැර වචනයක් කතා නොකරන ජානිපෙ සහ ජවිපෙ, අධිරාජ්‍යවාදයට එරෙහිව කරන ප්‍රකාශවල කෙතරම් වැදගත්කමක් තිබේ ද?

අද ඇතැම් ජානිපෙ නායකයින්ට එරෙහිව කරන ප්‍රහාරවලට වඩා දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ඇතැම් දෙමළ වැසියන් ලක් කෙරුණේ, මෙම ජානිපෙ නායකයින්ගේ විවෘත කැමැත්තත් සහයෝගයත් ඇතිව ය යන සැකය මා සිත තුළ පැල පදියම් වී තිබේ. එසේ සිදුව ඇත්තේ, එවැනි දෙමළ ජාතිකයින් ඝාතනය කරන්නට ආසන්නව සහ ඊට පෙරාතුව, දැන් සිටින ජානිපෙ සහ එදා සිටි ජවිපෙ නායකයන් විසින් ඔවුන් එසේ ඝාතනය වන බවට කරන ලද ප්‍රකාශ හේතුවෙනි. එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට ඔවුනුත් හවුල් වී තිබේ ද යන්න විනිශ්චය කිරීම අනාගතයේ දී කෙතරම් ප්‍රමාද වී හෝ සිදු වේ යැයි යන විශ්වාසය, ලතින් ඇමරිකාවේ දැන් සිදු වන එවැනි පරීක්ෂණවලින් මා සිත තුළ තහවුරු කෙරෙයි.

අපේ රටේ ද සිදු වන ත්‍රස්තවාදී ක‍්‍රියා වැළැක්විය යුතුයි. යුද්ධයට සම්බන්ධ හැම පාර්ශ්වයක් ම ත්‍රස්තවාදී කටයුතුවල නිරතව ඉන්න බව අපි දන්නවා. ඒ සියලු දෙනාගේම ක‍්‍රියා හෙළා දකින ගමන්ම, එම ක‍්‍රියා නතර කර ලීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. හෙළා දැකීමෙන් පමණක් එම ක‍්‍රියාවන් නතර කළ නොහැකියි. ඒ සඳහා එම ක්‍රියාවලියට මඟ පාදා තිබෙන ජාතික ගැටලුවට සාධාරණ විශ්වාසය දනවන, කල් පවතින, සියළු ජන කොටස්වල අයිතීන් සමාන ලෙස ආරක්ෂා කරන විසඳුමක් ඉදිරිපත් කොට, සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්නට බල කර සිටිය යුතුයි. එසේ නොමැතිව, ජනතාවට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන ආණ්ඩු අනුමත කිරීම සමාජවාදියෙකුට තබා ප්‍රගතිශීලියෙකුට වත්, කිසිම ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වත් කළ නොහැකි දෙයක්.

අපේ රටේ ජාතික ගැට‍ළුව අද පවතින අවුල් සහගත සංකීර්ණ තත්ත්වයට ගෙන ඒම ආරම්භ වූයේ 1956 දී. එම ප්‍රශ්නයට තවමත් සාධාරණ, විශ්වාසය දනවන, කල් පවතින, සියළු ජන කොටස්වල අයිතීන් සමාන ලෙස ආරක්ෂා කරන විසඳුමක් ගැන, 1948 න් දශක හයකට පසුව, තවම අපි සිටින්නේ කතා කරමින්. අධිරාජ්‍යවාදීන් අපේ රටට කරන ඇඟිලි ගැසීම වළක්වන්නට නම් අපේ රටේ නො විසඳා තිබෙන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කාර්ය භාරයන් ඉටු කර ලිය යුතුයි. එහෙත් ජානිපෙ ත්, ජවිපෙ ත් කළේ එම කාර්ය භාරයන් ඉටු කර ලීමට ආණ්ඩුවලට බල කර සිටීම වෙනුවට, ජාතික ගැට‍ළුව වවා ගෙන කෑමට හැකි වන ලෙස, වැඩවසම් ශේෂයන් අපේ සමාජය තුළ තව දුරටත් පවත්වාගෙන යන්නට හැකි වන සේ ආණ්ඩුවලට උදව් කිරීම නොවේ ද?

එක් අතකට ජානිපෙ ත්, ජවිපෙත් කියන අන්දමට, වෙනම රාජ්‍යයක් සඳහා ගෙන යන අරගලය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නම්, එල්ටීටීඊ ය තහනම් කිරීමෙනුත්, ගුවන් යානා ප්‍රහාරක මිසයිල වැනි ඉතා ප්‍රබල අවි ආයුධ මිල දී ගැනීම වළක්වා ලන සේ එල්ටීටීඊයට වැට කඩොළු බැඳීමෙනුත්, එල්ටීටීඊය හා සම්බන්ධ නැව්වලට ලංකාව අවට මුහුදු තීරයට ගොඩ බැසීම වළක්වා ලීමෙනුත්, එම නැව් ගිල්වා දැමීමෙනුත්, උතුරු නැගෙනහිර එල්ටීටීඊ මර්මස්ථානවලට පහර දීමට අවශ්‍ය බුද්ධිමය තොරතුරු සැපයීමෙනුත්, එල්ටීටීඊයට අරමුදල් එකතු කිරීමට තහංචි පැනවීමෙනුත්, එල්ටීටීඊ ක‍්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙනුත්, බටහිර රටවල් සහ ඉන්දියාව විසින් ලංකාවේ රජයට දෙනු ලබන අසීමිත සහයෝගය ගැන ජානිපෙ සහ ජවිපෙ කතා නොකරන්නේ මන්ද? අනෙක් අතට, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට ලක් වෙන්න තරම්, ලංකාවේ රජය ක‍්‍රියාත්මක කොට තිබෙන අධිරාජ්‍ය විරෝධී යැයි කිව හැකි වැඩ කටයුතු මොනවා ද? මේ සියල්ල කැටි කර ගත් විට මා කියා සිටින්නේ, එල්ටීටීඊය දුර්වල කිරීමට සක්‍රීය වශයෙන් ක‍්‍රියා කොට තිබෙන්නේ, ජානිපෙ ත්, ජවිපෙ ත් කුමන්ත්‍රණකාරයන් ලෙස අද හඳුන්වන අධිරාජ්‍යවාදීන් විසින් බවයි. එල්ටීටීඊය කිසි ලෙසකින් වත් දුර්වල කර ඇත්තේ, සිංහල ජාතිකවාදී ව්‍යාපාරයන් විසින් නොවන බවයි.

වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අවංක ලෙසත්, අව්‍යාජ ලෙසත් පෙනී සිටිනවා නම්, ක‍්‍රියා කරනවා නම්, අපි සියළු දෙනාම ලතින් ඇමරිකාවේ, ඉන්දියාවේ, නේපාලයේ වැනි තැන්වල ප්‍රගතිශීලී බලවේග විසින් කටයුතු කරනු ලබන ආකාරය හැදෑරීම ඉතා උචිත යැයි මම සිතනවා. විශේෂයෙන්ම එක් ජන කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැතිව, සියළු ජන කොටස්වල නිදහස සහ අයිතීන් ආරක්ෂා කරන ආකාරය අධ්‍යයනය කළ යුතුයි. එවැනි ව්‍යාපාර විසින් ඒ රටවල වැඩ කටයුතු කරන ආකාරය දෙස බැලූ විට, ජානිපෙ ත්, ජවිපෙ ත් සිටින්නේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ මොන පැත්තේ දැයි යන්න ඉතාමත් හොඳින් පැහැදිලි කර ගත හැකි වේවි.

මෙම කරුණු ගැන දිගින් දිගටම සාකච්ඡා කළ හැකි වුවත් මෙම ආයාචනය කෙටි කිරීමට අවශ්‍ය නිසා මෙයින් නතර වෙනවා. සාකච්ඡා කිරීමට තවත් බොහෝ කරුණු තිබෙනවා. අද ඇති වී තිබෙන මෙම අර්බුදය ගැන එක නායකයෙකුට හෝ බොහෝ නායකයින්ට දොස් පැවරීමෙන් යහපතක් සිදු වෙන්නේ නැහැ. මෙම තත්වයට මග පාදා ඇත්තේ, අපි අතර තිබෙන දර්ශනයේ දිළිඳු භාවයත්, ආත්මාර්ථකාමිත්වයත්, පුද්ගලවාදී අවස්ථා වාදයත්, සියවස් පහකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය යටත් විජිතවාදී ආධිපත්‍යය විසින් ප්‍රබල ලෙස බලපෑම් කොට පැල පදියම් කොට ඇති යටත්විජිතවාදී මානසිකත්වයත් යැයි මම කල්පනා කරනවා.

දැන් මතු වී තිබෙන අර්බුදය දෙස බුද්ධිමත් ලෙසත්, විචාරශීලී ලෙසත් බැලීමට අවශ්‍යයි. මෙම තත්වය වෙනස් කිරීමට විකල්ප සමාජ බලවේගයක අවශ්‍යතාව පැන නැගී ඇතැයි මම කල්පනා කරනවා.

සහෝදරත්වයෙන්,

ලයනල් බෝපගේ

2008 ජුනි

No comments:

Post a Comment