අඩ සිය වසකට පසු 1971 අප්‍රේල් නැඟිටීම දෙස ආපසු හැරී බැලීමක්
ලයනල් බෝපගේ
1971 අප්‍රේල් අරගලය ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව එදා ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරිත්වය දෙස සාධනීය හෝ නිෂේධනීය ලෙස බලන හැම දෙනාග්ම පිළි ගැනීමක්යයි මම කල්පනා කරනවා. එම නැඟිටීමට අඩ සිය වසක් පිරෙන මේ මොහොත වන විට ඊට නන් අයුරින් දායකවූ බොහෝ දෙනෙක්, විශේෂයෙන් එහි නායකත්වය දුන් අයගෙන් වැඩි දෙනෙක් අපෙන් සමු ගෙන සිටිනවා. නුදුරු අනාගතයේදී දැන් ඉතිරිව සිටින අයත් සමු ගන්නවා ඇති. අරගලයට පෙරත්, විශේෂයෙන්ම අරගලයෙන් පසුවත් එම ව්‍යාපාරයට සම්බන්ධව සිටි අය වෙනත් දේශපාලන ධාරාවන් ගොඩ නැංවීම හෝ පවතින දේශපාලන සංවිධානවලට එකතු වීම දකින්න ලැබුනා. අරගලයක් පරාජය වුනාම සංවිධානයක් බෙදී වෙන්ව යෑම අළුත් අත් දැකීමක් නොවෙයි.
ජනතා විමුක්ති පෙරමුණටත්, ඉන් පෙර පැවති ‘ව්‍යාපාරය’ටත්, ඒ කාලයේ පැවතුන අනෙක් විවිධ විකල්ප කණ්ඩායම්වලටත් සම්බන්ධ වී සිටි බොහෝ දෙනෙකුගේ එකම අරමුණ හා පැතුම වී තිබුනේ හැම කෙනෙකුටම නිදහසේ මිනිසෙකු ලෙස දිවි ගෙවිය හැකි අන්දමට සමාජ ආර්ථික සාධාරණත්වය රජයන සමාජයක් ගොඩ නඟා ගැනීමයි. ඔවුන් බොහෝ දෙනෙක් ඒ පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කලේ තමන් සතුව තිබුනු බොහෝ දේ, තමන්ට අනාගතයේ හිමි කර ගත හැකිව තිබූ ඵල ප්‍රයෝජන, තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරමින් මිස පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවේ. ඒ අරගලයට නොයෙක් අයුරෙන් කොටස් කරුවන් වුනු වැඩිමනත් දෙනෙකුගේ පොදු අරමුණ වුනේ කුමක්ද, ඒ වකවානුවේ පැවති සමාජ ආර්ථික හා දේශපාලන තත්වය කෙවැනිද, ඔවුන්ගේ පොදු අරමුණ ආශ්‍රයෙන් වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලණ ගැටළු දෙස බැලිය හැක්කේ කෙසේද යන්න කෙටියෙන් හෝ සලකා බැලීම වැදගත්.
1971 අප්‍රේල් අරගලය සිදු වූයේ එදා පැවති සුවිශේෂ ඵෙතිහාසික වාතාවරනය තුළයි. දැන් පවතින වාතාවරනය තුල ධනේශ්වර ක‍්‍රමය සිය කටයුතු කර ගෙන යන ආකාරය වෙනස්කම් වලට භාජනය වී තිබේ. ශක්ති සම්පන්න නවලිබරල්වාදී ධනේශ්වර ආර්ථික ක‍්‍රමයක් රජයන ලෝකයක, විශේෂයෙන්ම අපේ වැනි රටවල්වල සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම, ප‍්‍රබල සමාජවාදී කඳවුරක් පැවති වකවානුවේ දී බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ, දිග් ගැස්සුණු හා විවිධාකාර වූ ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. මේ සඳහා තනි මාදිලියක් හෝ ආකෘතියක් හෝ කෙටි පාරක් හෝ සොයා ගත හැකියයි මම කල්පනා නොකරමි. එහෙයින් සමාජ සාධාරණත්වය සඳහා කරන ලද අරගලවල ජාත්‍යන්තර හා ඵෙතිහාසික අත්දැකීම් විචාරාත්මක ලෙස අගැයුමට ලක් කිරීමත්, සමාජ සාධාරණත්වය සඳහා කරන අරගලවලදී නිවැරුදි ප‍්‍රවේශයක් ඇති කර ගන්නට හැකි වෙන අන්දමට අත්දැකීම් උකහා ගැනීමත් අත්‍යවශ්‍ය වේ. සමාජ සාධාරණත්වය සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යාපාර තුළ සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති බරපතල අවශ්‍යතාවය ඉන් ප්‍රධාන තැනක් උසුලනවා ඇත.
වමේ කණ්ඩායම්, පොදු ලක්ෂණ සහ වෙනස්කම්
ජනතා විමුක්ති පෙරමුණ වගේම අනෙක් සියළුම විකල්ප වමේ කණ්ඩායම් එදා පැවතුන ජාත්‍යන්තර මෙන්ම ජාතික තත්වය හේතුවෙන් සන්නද්ධ අරගල මාවත පිළිබදව දැඩි විශ්වාසයක් තබා තිබුනා. එදා පැවති ජාත්‍යන්තර හාා ජාතික තත්වයන් තුල ඒ සියළු දෙනාම සමාජ පරිවර්තනය සඳහා එවැනි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය පිළිගත් අය. එකී අරමුණ වෙත ළඟා වීම සඳහා අනුගමනය කල යුතුව ඇතැයි ඔවුන් කල්පනා කල දේශපාලන මෙන්ම සටන් කිරීමේ උපාය හා උපායමාර්ග සම්බන්ධයෙන් ඔවුන් අතර වෙනස්කම් පැවතුනා. අරගලය ගත යුතු මාවත ගැන, රුසියානු, චීන, කියුබානු මෙන්ම ලාංකීය විප්ලව ආකෘති ගැන සාකච්ඡා වුනා. තුන් වැනි ලෝකයේ ආර්ථිකයන් යළි-යටත් කර ගන්නට අධිරාජ්‍යවාදී බලවේග ඒ කාලයේ විවෘතව හා ආවෘතව ක්‍රියාත්මක වූ ආකාරය, වර්ධනය වෙමින් තිබුන සටන්කාමී යටත් විජිත විරෝධී ව්‍යාපාරයට පිළිතුරු ලෙස අධිරාජ්‍යවාදීහු, ඔවුන්ගේ ප්‍රතිරූපය අනුගමනය කරන දේශීය ගැත්තන් පුහුණු කළ ආකාරය පෙන්වා දුන්නා.
උපාය උපක්‍රම
ජනතා විමුක්ති පෙරමුණෙන් පරිබාහිර බොහෝ කණ්ඩායම්වල මතය වුනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ අනුග්‍රාහකත්වයෙන් මූල කඳවුරු හා දිග් ගැස්සුනු අරගලය මත පදනම් වූ සන්නද්ධ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි. ධර්මසේකර කණ්ඩායම සහ ඊට අනුබද්ධ මාඕවාදී තරුණ පෙරමුණ වැනි කණ්ඩායම්වල මතය වූයේ සිංහරාජය මොන්කාඩාවක් මෙන් යොදා ගෙන වෙඩිහඬ තුලින් ජනතාව අවදි කිරීමේ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඟා තිබූ චෝදනාව වූයේ ‘එක රැයකදී ධනපති රාජ්‍ය යන්ත්‍රයට පහරදී රාජ්‍ය බලය අත්පත් කර ගැනීම’ මත එහි සන්නද්ධ ක්‍රියා මාර්ගය සකස්ව තිබුනු බවයි.
1970 රෝහණ විජේවීර සහෝදරයා අත් අඩංගුවට ගන්නට පෙර පවා ධර්මසේකර කණ්ඩායම ‘ව්‍යාපාරය’ට (පසුකාලීනව) ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මේ චොදනාව එල්ල කොට තිබුනා. මේ මතය දරන අය එය මනෝරාජිකවාදී යුද සැලැස්මක් බවත්, ජනතාවට රහසින් බලය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයක් බවත්, ඒ උත්සාහය කුමන්ත්‍රනකාරී සුළු ධනේෂ්වර සිහිනයක් බවත් කියා සිටියි. 1971 අප්‍රේල් අරගලයට පෙර මා දැන සිටි කරුණුවලට වඩා මෙය තරමක වෙනස් මතයක්. ඒ නිසා මේ මතය සමඟ මම එකඟ වනිනේ නැහැ. උදාහරණයක් ලෙස, 1971 මුල පටන් රෝහණ සහෝදරයා අත් අඩංගුවට ගන්නා තෙක්ම මාද ඇතුළුව දහ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මාතලේ අකරහැඩියේ ආරක්ෂිත ගම්මානයක් සකස් කරන්නට පක්ෂය විසින් යොදවා තිබිනි.
ආරක්ෂිත ගම්මාන ගොඩ නැඟීමේ මෙවැනි තවත් උත්සාහයන් පොලොන්නරුව, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවලත් පැවතුන බව මගේ මතකයයි. ඒ උත්සන්න වන මර්දනය හමුවේ පසුබාන්නට සිදු වුවහොත් පක්ෂ නායකත්වයේ ආරක්ෂාව සැලසීම සඳහායි. මගේ ප්‍රායෝගික අත්දැකීමට අනුව ජනතා විමුක්ති පෙරමුණේ යුද ක්‍රියා මාර්ගය සකස්ව තිබුනේ ‘එක රැයකදී ධනපති රාජ්‍ය යන්ත්‍රයට පහරදී රාජ්‍ය බලය අත්පත් කර ගැනීම’ වෙනුවට, එක වර බොහෝ මර්මස්ථානවලට පහර දී ආයුධ අත් පත් කර ගෙන පසු බසිමින් කරන අරගලයක් තුලින් කෙටි කාලීනව රාජ්‍ය බලය අත්පත් කර ගැනීම මතයි.
විවිධ චෝදනා
1971 අප්‍රේල් නැඟිටීම සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේදී ඒ වෙත විවිධාකාරයේ චෝදනා එල්ල කළ හැකියි. වැරදි අඩුපාඩුකම් දැකිය හැකියි. අතිධාවනකාරිත්වය, නොඉවසිලිමත් බව, අදූරදර්ශී වීම, සැලැස්මක් නොමැති වීම, සාහිත්‍ය පරිශීලනයෙන් තොරවීම යනාදී වශයෙන්. ඒ අරගලය පිළිබඳව මමත් විවේචන මතු කොට තිබෙනවා. නමුත් ඒ පිළිබඳ දීර්ඝ සමාලේචනයක යෙදෙන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නේ නැහැ. අද මේ කරුණු ඉදිරිපත් කරන කාලයේ දී පවතින වාතාවරනය එදා පැවති වාතාවරනයට වඩා බොහෝ සෙයින් වෙනස්. ඒ වගේම ඇතැම් සමානකම්ද නැතුවා නොවෙයි.
අපට පෙර සිටි වමේ පරම්පරාව පන්ති සම්බන්ධතා අතින් ගත් විට අපට වඩා වෙනස්. ඔවුන්ගේ මව් භාෂාව වුයේ ඉංග්‍රීසි, අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසියෙන්, ඇසුරු කලේ ඉහළ සමාජ ස්ථරයන්. නමුත් අළුත් වමේ ව්‍යාපාරවලට එකතුවූ, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බොහෝ දෙනෙක්ම, හැදී වැඩුනේ සිංහල බෞද්ධ ගැමි පරිසරය තුල. 1956 සිට ක්‍රියාත්මක කරන ලද භාෂා ප්‍රතිපත්තියේ අනිවාර්ය ප්‍රථිඵලය වුනේ ගම්බද අති බහුතරයකට සිංහල, පාලි, සංස්කෘත හා කලා විෂයයන්ට සීමා වුන අධ්‍යාපනයක් ලබා ගන්නටයි. ඉංග්‍රීසි බස හසුරුවන්නට හෝ ඉංග්‍රීසියෙන් ලියන ලද හෝ මුද්‍රිත කරුණු හදාරන්නට ඉඩප්‍රස්ථා ඔවුන්ට ලැබුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට කියවන්නට ලැබුනු දේශපාලනමය හා සාහිත්‍ය ලිපි ලේඛන පරිවර්තන සාහිත්‍යයට පමණක් සීමාවී තිබුනා.
ඒ නිසා අපේ පරම්පාවන් ඊට පෙර සිටි වමේ පරම්පරාවලින් වෙනස් වුන බව දකින්නට පුළුවන්. අපේ පරම්පරාව සිංහලට සීමා කර තබනු ලැබුවත්, එකිනෙකාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික පසුබිම කුමක් වුනත්, කෙතරම් වැරදි අඩුපාඩුකම් තිබුනත්, අපි හුදු ජාති වාදීන්, ජාතික වාදීන්, ආගම් වාදීන් හෝ කුල වාදීන් වුනේ නැහැඅප සියළු දෙනාගේ එකම අරමුණ වුනේ සමාජ හා ආර්ථික වශයෙන් සාධාරණත්වය පවත්නා සමාජ ආර්ථික ක‍්‍රමයක් ගොඩ නඟා ගැනීම. එසේ නමුත්, එදා පැවති ගෝලීය හා දේශීය සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරනය මේ සඳහා පහසුවෙන් ඉඩ දෙන අන්දමේ එකක් වුනේ නැහැ.
පැරණි වමේ ව්‍යාපාර මෙන්ම නව වමේ ව්‍යාපාරත් කම්කරු, ගොවිජන සහ ග්‍රාමීය වැඩ කරන ජන කොටස් මෙන්ම තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මත්වය, සාධාරණත්වය හා නීතිය රජ කරවන්නට දායක විය හැකි සංවිධානාත්මක බලවේගයක් බවට දරන ලද විවිධ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. ප්‍රභූ පැලැන්තිය නොයෙක් ආකාරයෙන් බලවත් ලෙසත් ශක්තිමත් ලෙසත් සිය ආධිපත්‍යය වැඩ කරන ජන කොටස් මත පතුරුවා තිබෙනවා. පැරණි වම කම්කරුවන් සංවිධානය කිරීමටත් නව වම නිර්ධන පංතිය ඇතුළු ග්‍රාමීය ජන කොටස් සංවිධානය කිරීමටත් ප්‍රමුඛත්වය දුන් නමුත් වැඩ කරන ජන කොටස් කෙරෙහි ග්‍රාමීය ප්‍රභූ පැලැන්තිය දරන ආධිපත්‍යය සහ තම දිවි පෙවෙත පවත්වා ගැනීම සඳහා ඒ ජන කොටස් ප්‍රභූ පැලැන්තිය මත රඳා පැවතීම බිඳ දමන්නට තරම් ඒ උත්සාහයන් ප්‍රබල නොවූ බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
වියුක්ත ජාත්‍යන්තර අත්දැකීම්
ලංකාවේ සිදුවීම්වලින් වියුක්තව ගෙන, රුසියාවේ ඔක්තෝබර් විප්ලවය, චීන මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය, කියුබානු සමාජවාදී විප්ලවය වැනි ලොව පුරා ජයග්‍රහනය කොට තිබුන සමාජ පරිවර්තන දෙස බැළුවහොත්, ඒවායේ ගමන් පථ තුලද, නොයෙක් අවස්ථාවල අතිධාවනකාරීව, අදූරදර්ශීව, නොඉවසිලිමත්ව, සැලැසුම් රහිතව, අධ්‍යයනයෙන් තොරව, පොතපත පරිශීලනය කිරීමෙන් තොරව නොයෙක් ආකාරයේ කටයුතු කිරීමේ වාතාවරනයන් තුලින් බව දැකිය හැකිය. එහෙත් ඒ විප්ලව ජයග්‍රහනයයෙන් නිමාවට පත්වීම හේතුවෙන් ඒ පසුබිම් ගැන සමාලෝචනය කරන්නට අවශ්‍යතාවයක් පැන නැඟුනේ නැත. අද වන විට ඒ ඇතැම් සමාජ පරිවර්තන උත්සාහයන් අසාර්ථකත්වයට පත් වීම හමුවේ ඒ සාකච්ඡාව ඉදිරියට එමින් පවතින බව පෙනෙන්නට තිබේ.
ඔක්තෝබරයට පෙර සිදු කල පෙබරවාරි විප්ලවයේ පළමු දින කිහිපයේදී පෙට්‍රොග්‍රෑඩ් නුවර පමණක් සාර් හමුදාවේ වෙඩි තැබීම්වලින් 1,400 ක් පමණ ඝාතනයට ලක් වූ බව සැලකේ. 1931 දී ස්ථාපිත කල සෝවියට් චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා ලෙස මාඕ පත් කර ගැනීමෙන් පසු චියැංකායිෂෙක්ගේ වටලා විනාශ කිරීමේ ව්‍යාපාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දෙනා ඝාතනයට පත් විය. ඒ නිසාවෙන් මාඕ සභාපති ධුරයෙන් ඉවත් කළ අතර රතු හමුදාව විනාශයට ලක් විය. ඊට ප්‍රතිචාර වශයෙන් භටයන් 86,000 ක්, පිරිස් 15,000 ක් සහ කාන්තාවන් 35 දෙනෙකුගෙන් යුතුව 1934 ආරම්භ කළ ‘දිගු පාගමන’ (Long March) 1935 දී අවසාන වන විට සාගින්න, ගුවන් ප්‍රහාර සහ ගැටුම්වලින් විනාශයට ලක් නොවී ඉතිරිව සිටියේ භටයන් 4,000 ක් පමණි. ඉහත සාකච්ඡා කළ ආකාරයේ චෝදනා මාඕ සහ චීන කොමියුනිස්ට් පක්ෂය වෙත එල්ල නොවූයේ චීන විප්ලවය ජයග්‍රාහී විඹත් මාඕ පක්ෂයේ අවිවාදිත නායකයා ලෙස ඉස්මතු වීමත් හේතුවෙනි.
අවසාන වශයෙන් ෆිදෙල් හා රාවුල් ඇතුළු 120 ක කණ්ඩායම 1953 ජූලියේ දී කියුබාවේ මොන්කාඩා බැරැක්කයට පහර දීම දෙස බලමු. වාහන 16 කින් සමන්විත වූ කණ්ඩායම බැරැක්කය අසලට එනවිට බලාපොරොත්තු නොවූ අන්දමට කණ්ඩායම වෙන්වී යාමෙන් ප්‍රහාරයට අවශ්‍ය බර අවි ගෙන ආ වාහනය නැති වීම හේතුවෙන් පහර දීමට එක් වන්නට සිටි බොහෝ දෙනෙකුට අවශ්‍ය ආයුධ නැතිව ගියේය. ෆිදෙල්ව රැක ගන්නට වෙඩි තැබීම නිසා සතුරා පුදුම කරවන්නට තිබුන හැකියාවද නැතිව ගියේය.
ෆිදෙල් පවසන අන්දමට බැරැක්ක තුළට ඇතුළු වන්නට පෙර කෙරුණු මෙම වෙඩි තැබීම ඔවුන්ගේ මෙහෙයුම පරාජයට පත්වීමට බලපෑ ‘මාරාන්තික වැරැද්ද’ විය. සටනේදී පස් දෙනෙකු මිය ගිය අතර බැටිස්ටාගේ හමුදාව පනස් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඝාතනය කලේය. රෝහලේ සිටියදී අල්ලා ගත් කැරලිකරුවන් 18 දෙනෙකු මරා දමා ඔවුන්ගේ මළ සිරුරු බලකොටුව පුරා එල්ලා ප්‍රදර්ශනය කරන ලද අතර, අත් අඩංගුවට පත් අයව ඇස් ඉගිල්ලීම, සිරුර කොටස්වලට වෙන් කර මරා දැමීම, ලිංග ඡේදනය කිරීම වැනි වධහිංසා පමුණුවා තිබිනි. ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු කැරලිකරුවන් අතළොස්සක් අසල ප්‍රදේශවලට පැන ගියද, පසුව ඔවුන්ද අත්අඩංගුවට ගනු ලැබීය.
අරගලයේ මර්දන ස්වරූපය
මේ සිද්ධීන්ට සමාන මෙන්ම අසමාන බොහෝ දේ 1971 අප්‍රේල් අරගලයේ දී සිදුව තිබේ. අරගලයේදී යාපනය බන්ධනාගාරයට සහ පොලිස් ස්ථාන 92 කට පහර දී 56කට හානි පමුණුවා ඉන් 35ක් යටත් කර ගන්නා ලද අතර ඒ සඳහා කරන ලද ජීවිත පරිත්‍යාගයන් අමතක නොකල යුතුය, අමතක කල නොහැකිය. ගාල්ල, මාතර, කෑගල්ල, කුරුණෑගල, පොලොන්නරුව හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ, විශේෂයෙන්ම කතරගම, දෙනියාය, වරකාපොල, ඇල්පිටිය වැනි ප්‍රදේශ කෙටි කාලයකට ජනතා විමුක්ති පෙරමුණේ පාලනයට නතු විය. අප්‍රේල් 5 උදෑසන වැල්ලවාය පොලිසියට එල්ල කරන ලද ප්‍රහාරය 1971 සන්නද්ධ නැගිටීම පරාජයට පත්වීමේ මූලාරම්භය සනිටුහන් කලේය. ආරක්ෂක සේවාවලින් 63 දෙනෙකු ගැටුම්වලදී මරණයට පත් වූ අතර 305 දෙනෙක් තුවාල ලදහ. කැරැල්ලේ දී සිවිල් වැසියන් 41 දෙනෙකු මියගිය බවත්, පොදු හා පුද්ගලික දේපලවට සිදු වූ හානිය රුපියල් 21 ලක්ෂයකට ආසන්න වුන බවත් වාර්තා විය.
අප්‍රේල් 5වනදා වන විට වර්ධනය වී තිබුන තත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල පහරදීම් ආරම්භයට පෙරම නතර කර දැමීමට සිදු විය. නාගරික ප්‍රදේශ සියල්ලේම පාහේ කරන ලද ප්‍රහාර අසාර්ථක බවට පත් විය. රජයට භාර වන ලෙස පසු කාලයේදී කරන ලද ඉල්ලීමකට අනුව පළමු වටයේ 18,000 ක්ද, දෙවැනි වටයේ 5,000ක්ද භාර වී තිබිනි. එකල තිබුනු වාර්තාවලට අනුව අත් අඩංගුවට ගෙන විටින් විට රඳවා සිටි සහ නිදහස් කල අයගේ මුළු සංඛ්‍යාව 75,000 ක් පමණ විය.
1971 අප්‍රේල් අරගලය දින කිහිපයක් තුල පරාජයට පත් වන විට පොලිසිය හා හමුදා විසින් පක්ෂය හා සම්බන්ධ අය 5,400 ක් පමණ මරා දමන ලද බවත්, සිවිල් වැසියන්ද ඇතුළුව 10,000 සිට 12,000 ක් පමණ ඝාතනයට ලක් කරන ලද බවත් වාර්තා විය. මෙයින් අති බහුතරය මියගියේ සටන් කිරීමේදී හෝ ගැටුම්වලදී නොවේ. අත්අඩංගුවට ගත් සැක කරුවන් කපා කොටා ඉරා දමා විවිධ වධ හිංසාවන්ට ලක් කිරීමෙනි. මරා දමන ලද අයගේ සිරුරු ගංගාවල පා කර හරින ලදි. ටයර් සහ තෙල් දමා මගතොට මල සිරුරු පුලුස්සා දමා තිබිනි.
ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කිරීම පටන් ගත්තේ මෙහිදීය. ප්‍රේමාවතී මනම්පේරි සොයුරිය නිරුවත් කොට දූෂණය කොට මහපාරේ ඇවිදින්නට බල කොට වෙඩි තබා මරා දැමීම හැරුනු විට අනෙක් කිසිදු මිනී මැරුමක් ගැන අද වන තෙක්ම පරීක්ෂණ කිසිවක් පවත්වා නැත. අත්අඩංගුවට පත්වූ අය නොයෙක් ආකාරයේ වධහිංසාවන්ට ලක් කර තිබුන අතර, සොහොයුරියන් හැම දෙනාම පාහේ දූෂණය කොට ලිංගික වධවේදනා පමුණුවා තිබුනු ආකාරය ඔවුන් බලන්නට සිර කඳවුරුවලට ගිය අය පැහැදිලි කොට තිබිනි. මේ තත්වයට ගොදුරු වුන අය හැකියාවන්ගෙන් හා කුසලතාවලින් පිරුන ජීවිත. එහෙත් ඒ හැකියාවන් හා කුසලතාවයන් සමාජයේ ඉදිරි ගමන සඳහා යොදවා ගන්නට පවතින ක්‍රමය තුල ඉඩකඩක් ලැබුනේ නැහැ. ඒ නිසා තමයි පවතින ක්‍රමය වෙනස් කිරීම ඔවුන්ට තිබෙන එකම මාවත ලෙස ඔවුන් දැක්කේ.
සිරකඳවුරු හා ගැටුම්
අත්අඩංගුවට ගත් අය සිර ගත කරන්නට ඒ වන විට පැවති බන්ධනාගාර ප්‍රමාණවත් නොවුන නිසා සමහර විශ්ව විද්‍යාල එළිමහන් සිරකඳවුරු බවට පත්කරන ලදී. සිරකඳවුරුවල හට ගත් ගැටුම් ඇතැම් විට පහර දීම් දක්වා වර්ධනය වී තිබුනි. මෙම ගැටුම් කෙරෙහි බලපා තිබුනු මූලික කරුණු ලෙස සැලකිය හැක්කේ:
· අප්‍රේල් අරගලයට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ තුල වැඩී තිබුන කණ්ඩායම්වාදය හා ඒ අනුව කඳවුරු තුල ඇතිව තිබුනු බෙදීමත්:
· රජය හා හමුදා විසින් ඒ බෙදීම යොදා ගනිමින් කඳවුරුවල රඳවා සිටි අය පක්ෂයෙන් ඉවත් කර ගන්නට, අධිකරණමය මර්දන ක්‍රියාවලිය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමහරක් යොදවා ගන්නට, සභාග රජය නියෝජනය කල දේශපාලන ධාරාවන්ට ඔවුන් දිනා ගන්නට, කඳවුරු තුල සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන් පිළිබදව තොරතුරු සපයන්නන් බවට ඔවුන් පත් කර ගන්නට, නායකයන් මරා දමන්නට හෝ දේශපාලනිකව විනාශ කර දමන්නට දරන ලද උත්සාහයනුත්;
· රජයේ දේශපාලන හා අධිකරණ මර්ධන ක්‍රියා මාර්ගය ගැන සුපරීක්ෂාකාරීව කටයුතු කරන අතර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතීතය ආරක්ෂා කිරීමට හා සභාග දේශපාලන පක්ෂ, රජය හා නිලධාරි පැලැන්තිය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගන්නා ලද සහ ගෙන යමින් තිබුන ප්‍රචණ්ඩ රාජ්‍ය මර්දනය පිළිබඳව ජනතාවට හෙළිදරව් කරන්නට ගත හැකි හොඳම දේශපාලන ක්‍රියා මාර්ගය ලෙස, 1971 අප්‍රේල් අරගලය ‘ද්‍රෝහී’කණ්ඩායමක කටයුත්තක් මිස ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත තීරණයක් නොවන බව තහවුරු කරන්නට ගන්නා ලද දැඩි අනම්‍යශීලී ක්‍රියා මාර්ගයත්;
· ඒ දැඩි අනම්‍යශීලී ක්‍රියා මාර්ගය පිළිබඳව සිරකඳවුරු තුල සිටි පාක්ෂිකයන් දැනුවත් කරන්නට නොහැකි වීමත්;
· ‘මහ නඩුවේ’ නොවන අය වරද පිළි ගතහොත් සම්පූර්ණයෙන් හෝ අත් හිටුවන ලද සිර දඬුවම් මත නිදහස් කරන්නට රජය ගත් ක්‍රියා මාර්ගයත් ය.
මෙම තත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණට හිතවත්ව සිටි ඇතැම් කොටස්ද ඉන් ඉවත්ව ගිය අතර, සමහරු ඇතැම් නායකයන්ට එරෙහිව සාක්ෂි දෙන්නට ද, තවත් අය නායකයන්ට එරෙහිව අනියම් අන්දමින් සාක්ෂි සැපයෙන අන්දමේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට ද, සමහරෙක් ජනතා විමුක්ති පෙරමුණට හානියක් නොවන අන්දමට කරුණු ඉදිරිපත් කරන්නටද කටයුතු කළහ. ඇතැම් අවංක සහෝදර සහෝදරියන් මේ තත්වය හමුවේ අසරණ බවට පත් වූ බව පැහැදිලිය.
විදේශාධාර
ලංකාවේ පාලක පැලැන්තියේ බලය රඳවා ගන්නට ගුවන් හා නාවික ප්‍රහාරක යානා, මැෂින් හා කාල තුවක්කු, සහ බෝම්බ හා වෙඩිඋණ්ඩ ලබා දෙමින් සිංගප්පූරුව, ඉන්දියාව, පාකිස්ථානය, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, සෝවියට් දේශය. චීනය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් රටේ අභ්‍යන්තර ගැටුමට මැදහත් වූහ. කැරලිකරුවන්ටත්, කැරලිකරුවන් ගැවසෙතැයි සැක කළ ප්‍රදේශවලටත් විදේශික කුලී හේවායන් යොදවා ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි. රට අභ්‍යන්තරයේ උපායමාර්ගිකව වැදගත් වන තැන් රැක ගන්නට ඉන්දියානු සේනාංක මැදහත් වී තිබුනු බවද වාර්තා විය. ව්‍යාජ වාර්තා සපයමින් විදේශවලින් ලබා ගන්නා ලද යුද්ධමය, මූල්‍යමය හා දේශපාලනමය වශයෙන් ආධාර තුලින් ශක්තිමත් වුන සභාග රජය සුළු කලක් තුලදී අරගලය මුළුමනින්ම පරාජය කරන්නට කටයුතු කළේය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට අනුව එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඇලෙක් ඩග්ලස් හෝම් නිගමනය කොට තිබුනේ නාපාම් බෝම්බ වෙනුවට බෙල් හෙලිකොප්ටර් සමඟ සපයන ලද මැෂින් තුවක්කු විකල්පයක් වශයෙන් යොදා ගත් බවයි. මෙම ආයුධ සැපයීමට අමතරව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයන් ඇතුළු බ්‍රිතාන්‍ය පොලිස්, බුද්ධි සහ හමුදා නිලධාරීහු මෙම ආයුධ උපරිම ආකාරයෙන් යොදා ගන්නා අන්දම පිළිබඳව ලංකාවේ රජයට රහසිගතව උපදෙස් ලබා දී තිබුනි. එකල කොල්ලුපිටියේ පිහිටුවා තිබුනු බ්‍රිතාන්‍ය ඔත්තු සේවයට සම්බන්ධ MI5 (Military Intelligence Unit 5) ඒකකය කැරැල්ල මර්දනය කිරීම පිළිබඳව රජයට සහ හමුදාවලට දිගින් දිගටම උපදෙස් ලබා දී තිබුනි. මේ අනුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ස්ථානගත කර සිටි ජිම් පැට්‍රික් රජයේ කැරලි-මර්දන විශේෂඥයෙකු ලෙස පත් කොට තිබුනේය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වෙනුවෙන් 1971 දී ලංකාවේ සංචාරය කරන්නට සිටි ඇවබරි සාමිවරයාට ඒ ගමනයට අවසර දීම ප්‍රතික්ෂේප කරන ලද්දේ රජයට ඔහු දෙන ලද උපදෙස් අනුවයි.
ජාත්‍යන්තර වාතාවරනය
1960 ගණන්වල ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් පැවතුන සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණය අමතක කොට 1971 අප්‍රේල් අරගලය ගැන කතා කරන්නට පුළුවන් වන්නේ නැහැ. දැන් කාලයේ කරනවා වගේම ඒ කාලයේත් ඇමෙරිකානු රාජ්‍ය යන්ත්‍රය නව යටත් විජිතවාදයේ පැවැත්ම තහවුරු කර ගන්නට විවෘත ලෙසත් ආවෘත ලෙසත් ලොව පුරා මැදහත් වුනා. සමහර රටවල් ආක්‍රමණය කෙරුණා. හැට ගණන් වන විට අප්‍රිකාවේ, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඇමෙරිකන් ගැති ආඥාදායක ආණ්ඩු පිහිටුවා තිබුනා. ආසියාවේ ඇමෙරිකන් මැදහත් වීම්වල සමූලඝාතන ස්වභාවය ඒ කාලයේ පැහැදිලිවම ප්‍රකාශයට පත් වූනේ ඉන්දුනීසියාවේ. මෑත කාලයේ ඇප්ගනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ සිදු වූයේත්, මේ වන විට සිරියාවේ, යේමනයේ බොලීවියාවේ, වෙනිසියුලාවේ සිදු කරන්නට උත්සාහ කරන්නේත් මේ මැදිහත් වීම මයි.
නව-යටත් විජිතවාදය යටත් විජිතවාදයට වඩා වෙනස්; ආර්ථික පරාධීනත්වය පමණක් නොවෙයි, දේශපාලනික, ආගමික, දෘෂ්ටිමය සහ සංස්කෘතික පරාධීනත්වයත් ඇති කළා. ඒ කාලයේ පැවතුන එක්සත් ජාතික පක්ෂයත්, එහි නායකයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතාත් ලංකාව තුල මේ පරාධීනත්වය හොඳින් ම නියෝජනය කලා. මේ හැම රටකම පාහේ අත්තනොමතික, ආඥාදායක හමුදා ආණ්ඩු පිහිටුවීමේ අරමුණ සාධාරණය කරන්නට ඉදිරිපත් කල කරුණු වූයේ යහපත් රටක් ගොඩ නැඟීම, ජාතිය ආගම බේරා ගැනීම, දූෂණ සහ අපරාධවලින් රට බේරා ගැනීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම වැනි කරුණු. රට, ජාතිය, ආගම සහ දූෂිතයන්ගෙන් හා දූරදර්ශී ගෙස කටයුතු නොකරන දේශපාලනඥයන්ගෙන් සමාජය බේරා ගෙන සංවර්ධනය කරන්නට ඒකා අධිපතියෙක් මැතිවරණවලින් බලයට පත් කරන ලෙස ඉල්ලා දැන් කරන දේ මෙහිම තවත් ප්‍රභේදයක්.
ඉදිරිය
බටහිර ලෝකය පුරා පවතින ආර්ථික අර්බුදයෙන් ද, මුළු මහත් ලෝකය පුරා පවතින සරණාගතයන් පිළිබඳ අර්බුදයෙන් ද පැහැදිලි ලෙස දිගින් දිගටම දක්වනු ලබන්නේ සමාජ සාධාරණත්වය සඳහා ධනේශ්වර ක‍්‍රමය කටයුතු නොකරන බවයි. යළි යටත්විජිතකරණයට ලක් කරනු ලැබීමට එරෙහිව, සම්පත් කොල්ලකා ගැනීමට එරෙහිව, මෘග ආකාරයෙන් යුද්ධ බලය යොදා ගැනීමට එරෙහිව ධනේශ්වර ලෝකයේද ඇතුළුව ලොව පුරා කෙරෙන විරෝධය පෑම් සහ අරගල විසින් ධනේශ්වර සමාජ ආර්ථික ක‍්‍රමයෙන් වෙනස් වූ විකල්ප සාධාරණ සමාජ ආර්ථික ක‍්‍රම ගොඩ නැඟීම සඳහා ඇති අවශ්‍යතාවය විදහා පානු ලැබේ.
ඕනෑම ජන සමාජයක පළමු අරගල අත්දැකීම මතු වන්නේ එවැනි දුබලතා මධ්‍යයේ වීම සමස්ත මිනිස් ඉතිහාසය තුළ අප දැක ඇති සාමාන්‍ය අත්දැකීමකි. ලොව ප‍්‍රථම සමාජවාදී අරගලය වන පැරිස් කොමියුනයේ තිබු දේශපාලන අඩුපාඩු පසු කාලීනව මාක්ස්ද ඇතුළු බොහෝ දෙනෙකුගේ විචාරයට බඳුන් විය. 1971 අප්‍රේල් අරගලයේ පරාජය විශාල පසු බැසීමකට මඟ පාදන ලදී. මෙම තත්ත්වය අප්‍රේල් අරගලයට විශේෂ වූවක් නොවේ. විප්ලවීය අරගල හා විප්ලවවාදී ව්‍යාපාර ලබන ඕනෑම පරාජයකදී ඕනෑම පසුබෑමකදී මෙවන් කාලපරිච්ජේද උදාවේ. එහෙත් මේ නිසා පුළුල් බහුජන කොටස් තුළ විශ්වාසයක් සහ අනුග‍්‍රහයක් ඇති වීමට පෙර, විප්ලවීය බහුජන ව්‍යාපාරයක් වර්ධනය නොවුණු තත්වයක් තුළ අරගලය ආරම්භ කිරීම වැනි අරගලයේ බොහෝ වූ දේශපාලන අඩුපාඩු අමතක කළ නොහැකිය.
සමාප්තිය
සිය වසරකට හා අඩකට පෙර ‘පැරිස් කොමියුනයේ’ අත්දැකීම ජාත්‍යන්තර වශයෙන් වැඩ කරන ජනයාට ඉදිරි මාවත පෙන්වා දුන්නා. ඉන් සිය වසරකට පසු 1971 අප්‍රේල් අරගලය ලාංකීය පීඩිත ජන කොටස් වෙත අත්දැකීම් සම්භාරයක් ඉතිරි කලා. ඒ අත්දැකීම් මුළුමණින් අභාවවාචක වූ ඒවා නොවේ. ඒ අත්දැකීම් වටහා ගැනීමේත් ප්‍රායෝගිකව යොදා ගැනීමේත් අවශ්‍යතාවය 1988-89 අරගලයේ අත්දැකීම් මඟින් මොනවට පැහැදිලි කර දී තිබෙනවා. 1971 ම්ලේච්ඡ රාජ්‍ය මර්දනය හමුවේ සොයුරු සොයුරියන් ප්‍රදර්ශනය කළ වීරත්වය, නිර්භීත බව, තමන් විශ්වාස කළ දේශපාලන දර්ශනය වෙනුවෙන් දැක්වූ අචල විශ්වාසය, කැපකිරීම සටන්කාමීත්වය අද අපට මඟ පෙන්වන පහන් සිළු බවට පත් කර ගත යුතුය.
යහපත් වුවත් වසරක් පාසා දිවි පිදූවන්ගේ අභිලාෂය, පරිත්‍යාගය සහ කැප කිරීම ඇගයීම ප්‍රමාණවත් වන්නේ නැත. අරගලයේ වීරත්වය අභිනන්දනයට පත් කර එහි නිෂේධනීය ඇති විවේචනාත්මකව සලකා බැලීමෙන් තොරව එදා සොයුරු සොයුරියන් දැක්වූ අප්‍රතිහත ධෛර්යය, ශක්තිය, ජීව ගුණය ආභාෂයක්, ආදර්ශයක් හා ශක්තියක් බවට පත් කර ගත නොහැකිය. මිනිස් ජීවිත වැටුප් වහළුන් බවට, සදාකාලික යන්ත්‍ර බවට, යටහත් පහත් දීනයන් බවට පත් කොට තිබෙන මේ අසාධාරණ, අයහපත් සමාජ ක්‍රමය ගරුත්වයෙන් හා අභිමානයෙන් යුක්තව ඒ මිනිසුන්ට මිනිසුන් ලෙස දිවි ගෙවිය හැකි සාධාරණ යහපත් සමාජයක් ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම, ඒ සඳහා පේවී කටයුතු කිරීම අද යුගයේ අවශ්‍යතාවය බවට පත් වී තිබෙනවා.
ජාතික හා ජාත්‍යන්තර ප්‍රගතිශීලීන් ලෙස හැඳින්වූවන්‌ගේ මෙන්ම සමස්ත ධනේශවර ලෝකයේද ආධාරය, අනුබලය සහ ආශීර්වාදය සහිතව ලංකාවේ පාලක පැලැන්තිය අප්‍රේල් අරගලය පරාජයට පත් කලේය. එකල සමාජවාදී ලෙස හැඳින්වූ සෝවියට් දේශය හා චීනය ඇතුළු කඳවුර ඒ අරගලය සුණු විසුණු කර දමන්නට ධනේශවර රජයට යුධ ආධාර ලබා දීම පුදුමයට කාරණයක් වුවත් ඉන්පසුව ලොව පුරා සමාජ ප්‍රගමනය සඳහා සටන් කරන සියළු දෙනාගේ බලා පොරොත්තු බිඳ දමමින් බල කඳවුරු එකට එක්ව කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ඔවුන් සියළු දෙනාගේම පැවැත්ම රැඳී ඇත්තේ තම පාර්ශ්වයේ ජාතිවාදය, ජාතික වාදය, ආගම්වාදය හා අන්තවාදය ශක්තිමත් කිරීම තුලය.
අපේ ලෝකයේ, විශේෂයෙන්ම අපේ රටේ වාසය කරන හැම කෙනෙකුටම මිනිසෙකු ලෙස නිදහසේ දිවි ගෙවන්නට හැකි කරවන අන්දමේ, සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟීම 1971 අප්‍රේල් අරගලයේදී දිවි පිදූ විවිධාකාරයේ කැප කිරීම් කළ සහෝදර සහෝදරියන් සියළු දෙනාගේ පොදු අරමුණ මෙන්ම ඔවුන් සියළු දෙනාගේ එකම පැතුම වනු ඇත. ඒ අරමුණ, ඒ පැතුම අප සියළු දෙනාගේම පොදු අරමුණ ද, එකම පැතුම ද විය යුතු නොවේද! කවර ආකාරයේ දුබලතා පැවතුන ද, අප ජාති වාදීන් හෝ ජාතික වාදීන් හෝ ආගම් වාදීන් හෝ කුල වාදීන් හෝ නොවිය යුතුය. අප එකිනෙකාගේ පසුබිම් කවරක් වූවත්, අප සියළු දෙනාගේ එකම අරමුණ විය යුත්තේ සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගත හැකි සමාජයකට අත්තිවාරම දැමීම යි. පාලකයන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට පෙරට රැගෙන තිබෙන අන්තවාදය, ජාතිවාදය හා ආගම්වාදය පරාජය කරන්නට සියළු ශක්තිය කුළු ගන්වා සටන් කිරීම 1971 අප්‍රේල් අරගලයේදී දිවි පිදූ හා කැප කිරීම් කල සියළු සොයුරු සොයුරින් වෙනුවෙන් දැක්විය හැකි උතුම්ම උපහාරය වනවා ඇත.
ධනේශ්වර සමාජ ක‍්‍රමයේ බිඳ වැටීම ඉබේ සිදුවන්නක් නොවේ. එය පෙරටුගාමී බලවේගයක් ලෙස දැනුවත්ව සංවිධානය වූ වැඩ කරන ජන කොටස් විසින් ඉවත් කොට දැමිය යුතුය. මේ සම්බන්ධයෙන් අපේ අනිවාර්ය දුබලතාවයවී ඇත්තේ අපේම ශක්තිය පිළිබඳව අධිතක්සේරු කිරීමත් ධනේශ්වර ක‍්‍රමයේ ශක්තිය පිළිබඳව අවතක්සේරු කිරීමත් ය. ලංකාවේ පමණක් නොව ලොව පුරා හැම තැනම මෙම ප්‍රවනතාවයත්, ඊට එරෙහිව කරන අරගලයත් ඉදිරියට එමින් පවතී.
1971 අප්‍රේල් අරගලයේ නොදුටු ජාතිකවාදය පසු කාලීනව ප‍්‍රකට වීමත්, ආගම්වාදය ඒ හා අනුබද්ධ කිරීමත් තුලින් අද සමස්ත ප‍්‍රගතිශීලී ව්‍යාපාරය ඉතා දුබල බවට පත් කොට ඇත. 1980 මැද භාගය වන විට අන්ත දක්‍ෂිණාංශික සංවිධාන, බලවේග හා පුද්ගලයන් ඒකරාශි කිරීමේ, ඒ මඟින් දකුණේ ජන කොටස් ජාතිවාදී, ජාතිකවාදී සහ ආගම්වාදී මතවාදයෙන් උමතුවට පත් කිරීමේ ඵලවිපාක මේ වන විටත් අප සියළු දෙනාම අත් කර ගනිමින් සිටිති. හැම ජන කොටසකටම තම ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා, ගරුත්වයෙන් යුතුව ජීවත් වීම සඳහා, සමානයන් ලෙස දිවි ගෙවීම සඳහා තිබෙන අයිතිය පිලි ගැනීම, ආරක්ෂා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම තුලින් පමණකි, අපට ඒ විපාකයෙන් අතමිදිය හැක්කේ.
සමාජ සාධාරණත්වය සඳහා අරගල කරමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගන්නටත්, තහවුරු කර ගන්නටත්, සමාජය තුල ජාතිවාදී, ජාතික වාදී සහ ආගම්වාදී මතවාදය පරාජය කරන්නටත්, රටේ හැම පුර වැසියෙකුටම සමානයන් ලෙස සැලකීමේ, සහ සම අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමටත් කාලය පැමිණ තිබේ.
ඒ සඳහා අප සියළු දෙනාට ආත්ම විශ්වාසයත්, අධිෂ්ඨානයත්, ශක්තියත්, ධෛර්යයත් ලැබේවා!
2021 අප්‍රේල් පස් වැනිදා
No comments:
Post a Comment