1971 අප්‍රේල් නැඟිටීමට අද වසර පණහක්. හැත්තෑව දශකයේ පරිහානියට පත්ව තිබුන සමාජ-ආර්ථික හා සංස්කෘතික තත්වය නිසා බැට කෑමට ලක් වුනු සහ ඒ ගැන දැනුවත්ව සිටි සරසවි හා පාසල් සිසුන් වගේම රැකියා විරහිත සිංහල බෞද්ධ පරිසරයක හැදුනු තරුණ තරුණියන්ගෙනුයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුනේ. ඒ කාලයේ ජාත්‍යන්තරවත් දේශීයවත් පැවතුන සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණය ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන වේගවත් කරන්නට උපකාරී වුණා.
ඇමෙරිකානු රාජ්‍ය යන්ත්‍රය ලොව පුරා නව යටත් විජිතවාදයේ පැවැත්ම තහවුරු කරන්නට විවෘතවත් ආවෘතවත් මැදහත් වුනා. හැට ගණන් වන විට අප්‍රිකාවේ, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඇමෙරිකන් ගැති ආඥාදායක රජයයන් පිහිටුවා තිබුනා. 1969 කාලයේ ලෝකය පුරාම යහපත් සමාජ වෙනසක් අපේක්ෂා කල තරුණ බොහෝ දෙනෙක් විශ්වාස කලා විප්ලවයක් අත ළඟම එන බව.
ආසියාවේ ඇමෙරිකන් මැදහත් වීම්වල සමූලඝාතන ස්වරූපය හොඳින්ම පැහැදිලි වුනේ ඉන්දුනීසියාවේ කරන ලද සංහාරයෙන්. 1961දී අධිරාජ්‍යවාදීන් කොංගෝවේ පළමු අගමැතිවරයා පැට්‍රිස් ලුමුම්බාව පැහැර ගෙන ගොස් දැඩි වධ හිංසා පමුනුවා වෙඩි තබා මරා ඔහුගේ මළසිරුර පවා සල්ෆියුරික් අම්ලයේ දිය කර හැරියා. මේ ජාත්‍යන්තර හා ජාතික තත්වය හමුවේ සියළු වාම විකල්ප කණ්ඩායම් සමාජ පරිවර්තනය සඳහා සන්නද්ධ අරගලයෙන් බලය අල්ලා ගැනීම ගැන දැඩි විශ්වාසයක් තබා තිබුනා. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයත් දැරූ අදහස.
ඒ අවස්ථාවේ ඒ අරගලයට මූලිකව වගකිව යුත්තේ එදා පැවති රජය. අපි ඒ සඳහා දෙවැනිව වග කිව යුතුයි. ජනතාවගේ නැඟිටීමකට නායකත්වය දෙනවා වෙනුවට අපි ලංකාවේ පීඩාවට පත් ජනතාවට විමුක්තිය අත් කර දෙන්නට ඔවුන් වෙනුවට ආදේශ වීම අප්‍රේල් නැගිටිමේ පරාජයේ මූලික හේතුව ලෙස මා දකිනවා.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ආණ්ඩුවක වගකීම වන්නේ පුද්ගලයන්ගේ වාර්ගිකත්වය හෝ දේශපාලන සම්බන්ධතා නොසලකා සියළු ජන කොටස් වෙනුවෙන් රට පාලනය කිරීම. ජනයා මුහුණ දෙන විශේෂිත ගැටළු හඳුනා ගෙන ඔවුන්ගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ආරක්ෂාව හා නිරාපදාව රැකෙන අන්දමට කටයුතු කිරීම, 71 පටන් පැවතෙන ඉතිහාසයේ මෙතෙක් ඉගෙන නොගත් පාඩම්වලින් අප ඉගෙන ගත යුතු වැදගත්ම පාඩම බව මම සලකනවා.
No comments:
Post a Comment