Sunday 10 February 2019








ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස්වෙමින් 1984 පෙබරවාරි මස මා පක්ෂයට භාර දුන් ලිපිය






පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව හා සාමාජිකත්වය වෙත සහෝදරත්වයෙනි,
මෙම ලිපිය ලිවීමට මා අදහස් කොට සිටියේ දැනට වසරකට පමණ පෙර දී යයි පැවසුවොත් එය වඩා නිවැරදියයි සිතමි. එතරම් දේශපාලන කම්පනයකට මා ලක් වී සිටියත්, එසේම මෙතෙක් අප කළ දේශපාලනයේ කෙතරම් උපක‍්‍රමික හා උපාය මාර්ගික වැරදී හා අඩුපාඩුකම් අන්තර්ගත වුවත් එම දේශපාලනයේ සාපේක්ෂ නිවැරදිභාවය සහ එනිසාම එහි විප්ලවීය ගරුත්වය ධනපති පංතිය ඉදිරියේ ආරක්ෂා කිරීම මගේ පරම විප්ලවීය යුතුකමක් ලෙස සළකා ක‍්‍රියා කල බවත්, ක‍්‍රියා කරන බවත් පළමුවෙන්ම ප‍්‍රකාශකල යුතුය. මා අත් අඩංගුවට ගෙන රඳවා සිටි කාල පරිච්ඡේදය තුලදී මෙවැන්නක් ලිවීමෙන් හා ඉදිරිපත් කිරීමෙන් මා වැළැක්වූයේ මෙවැන්නක් ලිවීමෙන් පසු එය පාලක   පංතිය සතු වුවහොත් ඔවුන් ලැබිය හැකි වාසි හා ඵල ප‍්‍රයෝජනත්, එයින් ඇතිවන හානිය ගැන මගේ ඇති සැලකිල්ලත් විසිනි. තහනමක් නොමැතිව යළිත් පක්ෂය ක‍්‍රියාකාරී තත්වයකට පත්කිරීම සඳහා මගෙන් ඉටුවිය යුතු හා ඉටුකල හැකි වැඩ කොටස ඉටු කිරීමෙන් පසු මෙය ලියා ඉදිරිපත් කල යුතුයයි මම කල්පනා කලෙමි. එහෙත් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම වැඩ කොටසට අමතරව වෙනත් දේශපාලන කටයුතු වලට මා මැදහත් කරවන බැවින් ද, පක්ෂය තුල මවිසින් මහත් බලාපොරෝත්තු තබා සිටි ඇතමෙක් මට තිබෙන දේශපාලන ගැටළුවලට සමාන්තරවූත් එහෙත් ප‍්‍රමාණයෙන් එපමණම නොවූත් ගැටළු ප‍්‍රමාණයක් මත පක්ෂයෙන් ඉවත් වී සිටින බැවින් ද, පක්ෂය තුල තවමත් ක‍්‍රියාකාරී වන එහෙත් මහත් ප‍්‍රශ්ණ සම්භාරයක් සිත්හි දරා ගෙන සිටින පූර්ණකාලීනයන් එම ප‍්‍රශ්ණ නිරාකරණය කරගැනීම සඳහා මා සමග සාකච්ඡා කරන විට ඔවුන්ගේ බොහෝ ප‍්‍රශ්ණ නිරාකරණය කරනු වෙනුවට එම ප‍්‍රශ්ණ සමග මගේ තිබෙන එකතාවය පළකිරීමට සිදුවී ඇති හෙයින්ද, එම ප‍්‍රශ්ණ පිළිබඳව පක්ෂය නිවැරදි කරගතහැකි යයි මා අදහස් නොකරන හෙයින්ද මෙම ලිපිය ඉක්මනින් සකස් කිරීමටත්, මෙම ලිපිය පක්ෂයේ හැම සහෝදරයෙකුටම ඉදිරිපත්කිරීම සඳහා පක්ෂයට ඉදිරිපත් කිරීමටත් මම තීරණය කලෙමි.
මෙම ලිපියේ අඩංගු වන කරුණුවලින් මට පුද්ගලිකව මෙන්ම පොදුවේත් ඇතිවන හානිදායක ප‍්‍රතිඵල පිළිබඳවත්, පක්ෂ සහෝදරවරුන් තුල මෙම ලිපිය විසින් ජනිත කල හැකි ප‍්‍රතිචාරයන් පිළිබඳවත් අවබෝධයක් මා සතුව ඇත. මෙම ලිපිය ලිවීමෙන් අනුන් පිට වැරදි පටවා මා සුදනා වීමට මම අදහස් නොකරන බවත්, මෙහි දක්වන හැම තත්ත්වයකටම පක්ෂ සාමාජිකයෙතු ලෙස සාමූහිකවත්, පක්ෂයේ සිටි “නායකයෙකු” වශයෙන් එයින් විශාල වැඩි වගකීම් ප‍්‍රමාණයකටත් මා වගකිවයුතු බවත් පැහැදිලිකළ යුතුය.
මගේ දේශපාලන ජීවිතයේ ඉතාමත් බරපතල දේශපාලන වැරදි නිගමන දෙකකට එළඹ මා කටයුතු කොට ඇත. ඉන් පළමු වැන්න 1971 අප්‍රේල් අරගලය පිළිබඳ තීන්දු කිරීමේ සාකච්ඡාව තුලදී මා ගන්නා ලද නිගමනයයි. සනත් - අතුල කණ්ඩායම විසින් සටන් කිරීමට ගන්නා ලද මුල් තීරණයක් අප පිට පැටවීම සඳහා පවත්වන ලද සාකච්ඡාවක් වුවත් අප්‍රේල් 02 දා පැවති එම සාකච්ඡාවේදී අප්‍රේල් 05 දා පහරදීමට ගන්නා ලද තීරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවූ සියළු දේ සම්බන්ධයෙන් මගේ ඇති වගකීමෙන් මට නිදහස්විය නොහැකිය. සැබවින්ම එම තීරණය රජයේ මර්ධනයට එරෙහිව පක්ෂයේ පැවැත්ම සඳහා ගන්නා ලද තීරණයක් හෝ සිය දිවි නසා ගැනීමට ගන්නා ලද තීරණයක්” හෝ වුවත් එදා අප කරගෙනගිය දේශපාලනයේ ඊළ ආසන්න ඉදිරි ක‍්‍රියාමාර්ගය ලෙස සැලකුවොත් මෙම තීරණය කෙසේ නම් වෙනස් කල හැක්ව තිබුනේදැයි යන්න එදා මෙන්ම අදත් මට පොදු වශයෙන් නිරාකරණය නොවූ ප‍්‍රශ්ණයක්ව පවතී. කෙසේවුවද එම තීරණය විනාශකාරී එකක් වූ බවත්, ඊට මා මුළුමනින් හවුල්කරුවෙකු වූ බවත් මම හොඳින් දනිමි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස බලවත්, පෞද්ගලික ස්වරූපයේ දේශපාලන අර්බුදයකට, සෙලවීමකට මා ලක්වූ අතර බරපතල දේශපාලන තීරණයක් ගැනීමේදී මෙම තත්ත්වය විසින් දැඩි සසල කිරීමක් ඇති කරන ලද බව මෙයට පෙර පවා මා පක්ෂයට ඉදිරිපත් කොට ඇත. පක්ෂය යලි ගොඩනගා කලින් පැවති වැරදි හා අඩුපාඩු නිවරුදි කොට ගනිමින්, යලිත් එවැනි බරපතල වැරදි දේශපාලන නිගමනවලට නොබසිමින්, 1971 ට පෙර පුද්ගලයන් පිළිබඳව තබන ලද අධි විශ්වාසයන් හා භක්තිය තුලින් ඇතිවූ හානි වැනි තත්ත්වයන් යලි ඇති නොවන්නට වග බලා ගනිමින් ක‍්‍රියා කළ යුතුයයි ද, ඇතිවී තිබූ විනාශකාරී තත්ත්වය මඟ හැරීමෙන් පසු මා දේශපාලනයෙන් ඉවත්විය යුතුයයිද මා සිතා සිටියත්, 1977 සිරගෙදරින් ඉවතට පැමිණ යලි දේශපාලනයේ නිරත වීමේදී මා අකමැති දේශපාලන ප‍්‍රවනතා තුල වුවද සාමුහිකත්වයට උරදෙමන් කටයුතු කොට යළිත් 1971 තීරණයට අසමාන  නුවූ බරපතල දේශපාලන වැරදි නිගමනයකට එළඹියෙමි.
එනම් 1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ සොයුරා ඉදිරිපත්්කිරීමට ගන්නා ලද තීරණයට මා දැක්වූ බලවත් සහයෝගය සහ අනුකූලතාව යයි. එදා නුවර පැවැත්වූ “සම්මේලනයේදී” පක්ෂ සොයුරන් හමුවේ රෝහණ සොයුරා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කිරීමේ යෝජනාවට මා විරුද්ධ වුයේ නම් සෑහෙන බලපෑමක් එයින් ඇති කල හැකිව තිබිණි. රෝහණ සොයුරා පුද්ගලිකව මට කරුණු ඉදිරිපත්කරමින් එම යොජනාවට මගේ අනුකූලතාවය ලබා නොදෙන ලෙස ඉල්ලූවත්, මගේ තක්සේරුව වූයේ එතෙක් අප කරගෙන එන ලද දේශපාලනයේ ඊළ ආසන්න තර්කානුකූල ක‍්‍රියාව වන්නේ ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම හැර වෙනත් එකක් නොවන බවයි. අපේ දේශපාලන ක‍්‍රියාදාමයට අනුකූලව ගත් විට ජනාධිපතිවරණයට තර වැදීම නොකලහොත් අපේ පක්ෂයට ඇතිවන දේශපාලන හානිය අද ඇතිවී තිබෙන තත්ත්වයේම එකක් නොවිය හැකිව තිබිනැයි කිව නොහැක. ඒ කවර තත්ත්වයන් යටතේ වුවත් ජනාධිපතිවරණයට රෝහණ සොයුරා ඉදිරිපත් කිරීමට ගෙන ආ යෝජනාව ස්ථිර කරමින් මම එදා කර ඇත්තේ පක්ෂය අද ලක්වී තිබෙන විනාශකාරී ඉරණමට පත් වන්නට සහාය වීමයි. 1971 අප්‍රේල් 02 වැනිදා ගත් තීරණය ඉන් පෙර අප ඇතිකල දේශපාලන ක‍්‍රියාවලියේ අනිවාර්ය නිගමනයක් වූවා සේම, 1982 ජනාධිපතිවරණයට රෝහණ සොයුරා ඉදිරිපත්කිරීමට ගත් තීරණයත්, ඊට පෙර අප ඇතිකල දේශපාලන ක‍්‍රියාවලියේ එකම අවසාන අනිවාර්ය තර්කානුකූල නිගමනය විය යුතුව තිබුුනු බව අදත් මා දරන අදහසයි. මෙසේ 1971 ට නොදෙවැනිවූ විනාශයක් ඇති කල බරපතල දේශපාලන වැරදි නිගමනයකට මා යලිත් හවුල් වූ අතර, 1971 අප්‍රේල් 02 දා තීරණය සම්බන්ධයෙන් ඇතිව තිබූ දේශපාලන සසලවීම පක්ෂයේ මංගල සමුළුව හමුවේ යම් පමණකට සකස්කොට ගත්තද එම හවුල්වීම විසින් එම දේශපාලන සසලත්වය කම්පනයක්, කළකිරීමක් හා මන්දෝත්සාහී බවක් දක්වා තවදුරටත් වැඩි දියුණු කරවන ලදී.
පුද්ගලයෙක් ලෙස, පක්ෂයට සාපේක්ෂව විශේෂයෙන් සම්බන්ධවී සිටින බරපතල දේශපාලන වැරදි නිගමන ලෙස සැලකිය හැක්කේ මෙපමණක් වුවද මෙතරම් බරපතල නොවේයයි සැලකිය නොහැකි දේශපාලන වැරදි වැඩි ප‍්‍රමාණයකට පක්ෂය ලෙස සාමූහිකව ගත් විට මා හවුල් වී ඇතැයි කල්පනා කරමි.
පක්ෂයේ මධ්‍යම කමිටුව තුල බහුතරයේ මතයට අවනත වෙමින්් මා දිගටම කටයුතුකොට ඇත. වෙනත් අදහස් දැරූ අවස්ථාවල මා ඒ පිළිබඳව දරන මත මට හැකි ප‍්‍රමාණයෙන් පැහැදිලි කර දීමට මා ක‍්‍රියා කොට ඇති අතර ඇතැම් අවස්ථාවල මධ්‍යම කමිටුව ගන්නා යම් නිගමනයන්ට මා එක නොවූවත්, එම නිගමනවලට විරුද්ධ නොවී උදාසීන ලෙස ක‍්‍රියාකල බවද සඳහන් කළ යුතුය. මෙසේ සිදුවූයේ එක්කෝ වෙනත් විකල්ප ක‍්‍රියා මාර්ගයක් ඉදිරපත් කිරීමට නොහැකි වීම නැතහොත් මා තුල පවත්නා නොදැනුම හේතුවෙනි. මා අකමැති යම් දෙයකට වුවද ඇතැම් විට කරබා ගෙන සිටීමේ මේ චරිත ලක්ෂණය මගේ ජීවිතයේ තිබෙන ඉතාමත් හානිකර අංග ලක්ෂණය ලෙස මම දකිමි. එහෙත් තවදුරටත් පක්ෂ ක‍්‍රියාමාර්ගය තුල පවතිමින් එසේ සිටීම බරපතල හානි ඇති කරවන්නක් බව මම දකිමි. එහෙයින් තවදුරටත් එසේ පැවතිය නොහැකිය.
1971 අප්‍රේල් අරගලය පිළිබඳ සවිස්තරාත්මක ස්වයංවිවේචනයක් තවමත් අපට පොදුවේ ඉදිරිපත් කළ නොහැකිවුවද එම අරගලයේ තත්ත්වයන් පිළිබඳව මා දක්නා ඇතැම් වැරදි හා අඩුපාඩුකම් බොහෝවිට පක්ෂයේ අනෙක් සොයුරන් නොදකින හා එවැනි අඩුපාඩු නොවූ බවට ප‍්‍රකාශ කිිරීමේ තත්ත්වයක් ද බන්ධනාගාරය තුලත්, පක්ෂයේ මංගල සමුළුව සඳහා මා සකස් කල පක්ෂ ස්වයං විවේචනයේදීත් දක්නට ලැබිනි. එම වැරදි නිවැරදි කර ගන්නවා වෙනුවට එම වැරදි පක්ෂය තුල තව තවත් උත්සන්න වී ඇතයි මම අද දකිමි. මේ පිළිබඳව විවාදකිරීමට මට අවශ්‍ය නැත. මගේ සිත තුල කාලයා විසින් ප‍්‍රයෝගික ජීවිතය තුලින් සටහන් කරන ලද්දක් හුදු විවාදයකින් හෝ තර්ක කිරීමකින් වෙනස් කල නොහැකි බවත්, එසේ කිරීම අප සියළු දෙනාගේම කාලය කා දමන නිරර්ථක හා පරමාර්ථ විරහිත එකක් පමණක් බවත් උදක්ම කල්පනා කරන්නෙමි.
1977 නොවැම්බර් දෙවැනි දින රාත‍්‍රියේ එම්. බී. රත්නායක සොයුරාගේ ගෙදර රැස්වූ පක්ෂයේ එවකට තිබූ දේශපාලන මණ්ඩලයට රෝහණ සොයුරා ඉදිරිපත් කල දැවැන්ත ප‍්‍රචාරක වැඩ පිළිවෙලට මා දැඩි ලෙස විරුද්ධවූ බවත්, එහෙත් බහුතරයේ එකතාවයට අනුව එය දියත් කරන ලද බවත් ඔබට මතක ඇතැයි සිතමි. මා ඊට විරුද්ධ වූයේ ප‍්‍රචාරක හා සංවිධානාත්මක කටයුතු අතර නිශ්චිත ද්විඝඨනාත්මක සම්බන්ධතාවයකින් තොරව, “දිරවා ගැනීමට බැරි තරම් කා දැමීමේ” ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් තුලින් විප්ලවීය ව්‍යාපාරයේ සංවිධාන රටාව විනාශ කර දමන හෙයිනි. එතැන් සිට දියත් කරන ලද හැම ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් විසින්ම සැබවින් ඇතිකරන ලද්දේ මෙම තත්ත්වයයි. ප‍්‍රචාරක වශයෙන් කරන ලද හැම කටයුත්තක්ම සංසන්දනාත්මක ලෙස සාර්ථක කර ගනු ලැබුවත්, එයින් පක්ෂය ක්ෂණික වේගයකින් ප‍්‍රමාණාත්මක ප‍්‍රසාරණයක් ලැබුවත් ප‍්‍රචාරක හා සංවිධාන කටයුතු අතර පැවතිය යුතු ද්විඝඨනාත්මක සම්බන්ධතාවය පවත්වා නොගැනීමේ හේතුව නිසාම පක්ෂයේ ප‍්‍රමාණාත්මක විපර්යාසය ගුණාත්මක වශයෙන් විප්ලවීය හා ජනනාත්මක විපර්යාසයක් බවට පත්කරගැනීමට අපට හැකියාවක් හෝ වැඩපිළිවෙලක් නොවීය. එක්තරා ප‍්‍රමාණයකට හෝ ගුණාත්මක වර්ධනයක් ඇතිකර ලන්නට ඉවහල් වූ අධ්‍යාපන වැඩ පිළිවෙල සම්පූරණයෙන්ම විනාශ වී ගියේය. එම අධ්‍යාපන වැඩ පිළිවෙල හෝ අප ගෙන ගිය සංවිධානය කිරීමේ ක‍්‍රමය පිලිබඳ මගේ එකතාවයක් නොමැත. එහෙත් එවැනි අධ්‍යාපන වැඩපිළිවෙලක් නොමැතිවීමේ ඵලය වශයෙන් සිදුවූයේ පක්ෂය තුල ඇතිවූ වේගවත් ප‍්‍රමාණාත්මක වර්ධනය විසින් පක්ෂ අරටුව දිරාපත් කරමින් පක්ෂය විනාශය කරා ගෙන යාමයි. ඇතිවූ ගුණාත්මක වෙනස එයයි. පසුගිය කාලය පුරා පක්ෂය තුල සුවකල නොහැකි ලෙස ඔඩුදිවගිය රෝගයේ හරය මෙය යයි මම කල්පනාකරමි. එපමණක් නොව අදත් එවැනි අධ්‍යාපන හෝ සංවිධාන වැඩ පිළිවෙලක් අපට නැත. අපේ වැනි පක්ෂයක එවැන්නක් ඉදිරියේදී ද ඇති නොවනු ඇත.
ප‍්‍රචාරක කටයුතුවලදී අප දැක්වූ ප‍්‍රදර්ශනවාදී නැඹුරුව (උදා. මැයි දින හා මැතිවරණ රැස්වීම් ආදිය) විසින් පක්ෂය සමස්තයක් ලෙස පිරිහීමකට ලක්වීමත් සමග සමාන්තර ලෙස පුද්ගල පිරිහී යෑම් ද පක්ෂය තුල ඇති කරන ලදී. එපමණක් නොව එම ප‍්‍රදර්ශනවාදී නැඹුරුව විසින් සතුරා අප පිළිබඳව අධි තක්සේරු කිරීමක් වෙත ගෙන යන ලදී. ඇතැම් අංශ මේ පිළිබඳව අපේ අවධානය යොමුකල විට අප විසින් කරන ලද්දේ එසේ නොකලොත් එය අපේ ඉදිරිගමනට බාධාවක් වනු ඇතැයි පවසමින් එම අදහස් නිර්දය ලෙස ප‍්‍රතික්ෂේප කිරීම නොවේද?
පක්ෂය ප‍්‍රමාණාත්ක ලෙස පුළුල්කිරීමට අප දැක්වූ ප‍්‍රවනතාවය ක‍්‍රමානුකූලව උත්සන්නවී අවසානයේ එය මැතිවරණ සංවිධාන ගොඩනැගීමේ විකාර සහගත ඉලක්ක හා අරමුණු සහිතව කරන්නක් බවට පත් වූයේය. මැතිවරණ සංවිධානවලට සැම තැනම පෝර්ම පුරවා බඳවා ගනිමින්, එසේ බැඳුනු ප‍්‍රමාණය ප‍්‍රසිද්ධ වේදිකාවේ විදහා පාමින් අප අප ගැනම ඉදිරිපත් කල සාඩම්බර කරුණු විසින්ම අප අද අනාථභාවයකට හෙලා තිබෙනවා නොවේද? පසුගිය කාල පරිච්ෙදය පුරාම අප සපුරා වෙහෙසුනේ මැතිවරණ කටයුතු ගැනයයි කිවහොත් එය නිවැරදිය. වෙනත් නොයෙක් අංශ ගැන, නොයකුත් වැඩකටයුතු ගැන, ක‍්‍රියාමාර්ග ගැන, කලා මාධ්‍යන් තුලින් කරන කටයුතු හා මානව අයිතීන් සුරැකීමේ කටයුතු ගැන අප කෙතරම් සාකච්ඡා කළද ඒවා අවසානයේදී කතාවටම පමණක් සීමා වී ගියේය. විප්ලවවාදී සංවිධානයක් ලෙස අප අපව හඳුන්වාගත්තද අපට ශේෂවී තිබුනේ හැඟීම් දනවන වැඩ රටාවක් යයි පැවසුවොත් වඩා නිවැරදි වනවා ඇත.
ඵීප්ලවීය පක්ෂයකින් ඉටුවියයුතු වැඩ කොටස් වශයෙන් නොයෙක් ක්ෂේත‍්‍ර තුල අපේ මැදිහත්වීම හා අනෙක් දේශපාලන සංවිධාන තුල අපේ අය කිඳා බැස්වීම සිදු කෙරුනේ නැත. පක්ෂයේ හා බහු සංවිධානවල සොයුරන්ට එරෙහිව දියත් වන නොයෙක් මර්ධනකාරී වැඩ පිළිවෙලවලට මුහුණ දීම සඳහා නීතිඥවරුන් අපෙන්ම ගොඩ නගා ගැනීමට වැඩ පිළිවෙලක් අපෙන් ක‍්‍රියාත්මක නොවුනි. විශ්ව විද්‍යාල වලින් පිටවූ අපේම බුද්ධිමතුන් වැඩිම ප‍්‍රමාණයක් අපේ වැඩ කටයුතුවලට මැදිහත් නොවුනි. එසේ සහභාගි කරවා ගැනීමට අපට ප‍්‍රමාණවත් වැඩපිළිවෙලක් ද නොවීය. බුද්ධිමතුන් පක්ෂයේ දැඩි ක‍්‍රියාකාරිකයින් ලෙස ඉදිරියට ගෙන කටයුතු කිරීමට වැඩ පිළිවෙලක් අපට නොවීය. ඒ වෙනුවට අප නිතරම උනන්දු වූයේ විශ්ව විද්‍යාල නිළවරණ කාල සීමාවේදී කෙසේ හෝ ප‍්‍රචාරක කටයුතු මගින් ශිෂ්‍ය සභාවන්හි නිල තල සමාජවාදී ශිෂ්‍ය සංගමයට ලබාගැනිම පිළිබ`දව පමණයි.
කම්කරු පංතිය විප්ලවයේ ප‍්‍රධාන ගාමක බලවේගය ලෙස හැඳින්වුවද අපේ වැඩ කටයුතු වලදී අප බරව සිටියේත්, සිටින්නේත් හැමවිටම ප‍්‍රාදේශීය අංශයට ප‍්‍රධාන බරක් යොදමින් ශිෂ්‍ය හා රැකියා විරහිත තරුණ කොටස් සංවිධානය කිරීමටයි. ඔවුන් ද සංවිධානය කල යුතුයි. එහෙත් නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගැනීම ස`දහා කරන අරගලයේදී ධනපති පංතිය විසින් එල්ල කරනු ලබන මර්ධනකාරී ක‍්‍රියාදාමය ඉදිරියේ ප‍්‍රබල ලෙස නොසැලී සිටින්නේ කම්කරු පංතිය පමණක්ම බව ජාතික හා ජාත්‍යන්තර ඉතිහාසය විසින් නැවත නැවතත් විදහා පා ඇතැයි මම දනිමි. මෙම විප්ලවීය ක‍්‍රියාවලියේදී තරුණ හා ශිෂ්‍ය කොටස් ප‍්‍රබල මෙහෙවරක් ඉටුකරන බව සැබෑවුවත් මර්ධන ක‍්‍රියාවලිය හමුවේ, කම්කරු පංතිය හා සාපේක්ෂව ගත්විට ඔවුන්ට ඉටු කල හැකි වැඩ කොටස අතිශයින් සීමිතය. මර්ධනයේදී පළමුවෙන්ම සසලවී පක්ෂය හැර යන්නේ ඔවුන්ය. එහෙයින් පක්ෂයේ ප‍්‍රධාන බර යෙදිය යුතුව තිබුනේ කම්කරු පංතිය ගොනු කිරීමටත්, ඔවුන්ගේ සටන්කාමිත්වය වැඩිදියුණු කිරීමටත් යයි මම මුල පටන්ම අවධාරණය කරන ලද බව ඔබට මතක ඇතැයි සිතමි. එහෙත් පක්ෂය තුල මෙය ක‍්‍රියාවට නැගෙනු මා කිසිදාක දැක නැත.
වෘත්තීය සමිති පිහිටුවීමට පක්ෂය ගත් සාමූහික තීරණයට මම ද හවුල් වීමි. එහෙත් 1971 ට පෙර කළ තරමේවත් සාර්ථක ප‍්‍රතිඵල ඇති කර ගැනිමට අප අසමත්වී ඇති බව මෙහිදී සිහියට නැෙඟ්. ප‍්‍රතිගාමී වෘත්තීය සමිති තුල විප්ලවවාදී අයුරින් වැඩ කටයුතු කිරීම මුලූමනින් අතහැර දැමූ අපි සහමුලින්ම වෘත්තීය සමිති දේශපාලනයට නැඹුරුවූයෙමු. වෘත්තීය සමිති තුල සමාජවාදී කම්කරු සංගම් දියවී යනු දැකිය හැකි වූවා මිස, වෘත්තීය සමිති තුල නව සමාජවාදී කම්කරු සංගම් බිහිවනු දැකිය හැකිවූයේ කලාතුරකිනි. පැරණි වමේ ව්‍යාපාරයේ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයට වඩා දේශපාලනිකව වෙනස් අන්දමක (කැපකිරීම හා පරිත්‍යාගයන් හැරුනු විට) වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයක් අපට දක්නට හැකිවූයේ නැත.
පක්ෂ නායකත්වයේ පවතින අර්බූදය 1971 ට පෙරත්, 1977 ට පසුත් දිගින් දිගටම දක්නට ලැබුනි. පක්ෂ නායකත්වයට බුද්ධිමතුන් හිවිම කෘතිමව මැඩපැවැත්විය හැක්කක් නොවූවද බුද්ධිමතුන් පක්ෂයේ වැඩකටයුතු ස`දහා යොමු කර ගැනීමේදී හා සම්බන්ධ කර ගැනීමේදී අප දක්වා ඇත්තේ අල්පවූ දුර්වලතා නොවේ. ඒ කෙසේවුවද පෞද්ගලික ප‍්‍රශ්ණ මුල් කොට ගෙන පෞද්ගලිකව වෙන් වෙනවාට වඩා, පෞද්ගලික ප‍්‍රශ්ණ දේශපාලන ප‍්‍රශ්ණ බවට හරවා ගෙන පක්ෂයට සතුරුකම් කරන තත්ත්වයකට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන අය බොහෝවිට කටයුතු කොට තිබෙන බව දක්නට ඇත. 1971 ට පෙර පක්ෂයේ ඇතැම් අය ගැන තබා තිබූ බලාපොරොත්තු හා විශ්වාසය 1971 දී කෙතරම් කඩවූයේ දැයි පුන පුනා පැවසීමට අවශ්‍ය නැත. එහෙත් 1971 න් පසු යලි පක්ෂය ගොඩනැගීමේ ක‍්‍රියාවලියේදී ඊට වඩා වෙනස් වූ යමක් දක්නට ලැබුනේයයි කිසිසේත් පැවසිය නොහැකිය. මදරසිංහ කණ්ඩායම හැරුනු විට පක්ෂ නායකත්වයෙන් ඉවත්වූ හැම කෙනෙක්ම ප‍්‍රධාන වශයෙන් පක්ෂයෙන් ඉවත්වූයේ පෞද්ගලික ප‍්‍රශ්ණ මුල් කර ගෙනයයි පැවසුවොත් එය ඉතාමත් නිවැරදිය. වාස් තිලකරත්නලා ගැන පක්ෂය තුල තිබූ විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ගත්විට ඔවුන්ගේ ඉතිහාසය ගැන සලකා සිත් සදා ගත හැකි වුවත්, ඇතැම් සහෝදරවරුන්ට සිදුවූදේ අදහා ගැනීමට වත් නොහැකිය. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ස`දහා ඉදිරියට ගැනිමට හැකි අය නොමැතිව අර්බූදයට ලක්වී සිටි අප පක්ෂය, පක්ෂය විසින් වඩාත් විශ්වාසය තබා සිටි අය පක්ෂය හැරදමා ඉවත් වන විට දැන් පවතින තත්ත්වය ගැන කතා කිරිමට තරම්වත් යමක් නොමැති වෙයි. මා අදහස් කරන්නේ බොහෝ අවස්ථාවල පක්ෂය තුල පුද්ගලික ගොනුවීම් විසින් මේ හානිකර තත්ත්වයන් ජනිත කොට තිබෙන බවයි.
පක්ෂයේ සංවිධාන අංශයක් නොපැවතියත් එවැනි කටයුතුවල නිරත වෙන්නට සිටි අය මෙවැනි තත්ත්වයකට පත්වන්නේ නම් අපට පක්ෂය පිළිබ`ද විශ්වාසයක් ඇති කර ගත හැක්කේ කෙසේද? මෙය අද ඊයේ පැන නැගුන ප‍්‍රශ්ණයක් නොවේ. විප්ලවවාදී පක්ෂයක නායකත්වය සතුවිය යුතු ලක්ෂණ හා ගුණාංග අපේ නායකත්වයෙන් ගිලිහී ගොස් ඇති බවට මෙය දැඩි සාධකයකි. අපේ පක්ෂය ගොඩ එන්නට බැරි නායකත්ව අර්බූදයක එරී පවතී. මෙම තත්ත්වයෙන් ගොඩඒමට කළ හැකි යමක් ගැන මට සිතිය නොහැක.
ප‍්‍රචාරක කටයුතු හා සංවිධාන කටයුතු අතර පැවතිය යුතු ද්විඝඨනාත්මක සම්බන්ධය එසේ පවත්වා නොගැනීම මෙම ප‍්‍රධාන පිරිහීම්වල ආරම්භක හේතුව ලෙස දුටුවත්, අප පක්ෂ සංවිධානය ගොඩනැගිමට අනුගමනය කරන ක‍්‍රියා මාර්ගය හේතුවෙන්ම ධනපති පංතිය දියත්කරන මර්ධනයකදී අපට අපේ දෙපයින් සංවිධානාත්මක ලෙස නැගී සිටීම ඉතාමත් අපහසු එකක් බවට පත්කරනවා ඇත. අපේ සංවිධානය කිරීමේ පදනම වන්නේ පංති පහ සහ අධ්‍යාපන කඳවුරු කිරීමයි. එවැනි වැඩ පිළිවෙලක් පමණක් තුල, වර්ධනය වන විප්ලවිය සංවිධානයක් ගොඩනැගිය නොහැක. විප්ලවීය සංවිධානයකට අව්‍යාජ ලෙස වර්ධනය විය හැක්කේ මිට වඩා සපුරා වෙනස් ක‍්‍රියාමාර්ගයක් තුලින් පමණක් බව 1971 මෙන්ම 1977 පසු දේශපාලන ක‍්‍රියාවලියේ අත්දැකීම්වල හරය ලෙස මම අද දකින්නෙමි.
පක්ෂය දරන මතාවාදී අදහස්වලින් වෙනස්වන්නට මට ඉහතකී කරුණු බලපා තිබේ. කෙතරම් පිරිසිදු න්‍යායක් වුවත් එය භාවිතාවේ යෙදිය නොහැකි නම් එය වඳ බවට පත්වෙයි. දිග්ගැස්සුන අරගලය, මූල කඳවුරු, ඒ මත පදනම් වූ සංවිධාන රටාව අපේ රටේ සුවිශේෂ සමාජ, ආර්ථික, භූගෝලීය තත්ත්වයන් මත ක‍්‍රියාත්මක කල නොහැකියයි න්‍යායික ලෙස ප‍්‍රතික්ෂේප කළද උතුරේ සටන්කාමී සංවිධාන විසින් දීර්ඝ කාලීන යුද්ධයේ හා සුළු අරගල න්‍යායේ භාවිතාත්මක හැකියාව ප‍්‍රායෝගික ජීවිතයේදී මොනවට සනාථකර තිබේ. ඉන්දියානු සංදර්භය තුල මූල කඳවුරු අපේ රටේ පවත්වාගෙනයාම අද අප දෑස් ඉදිරියේ ප‍්‍රායෝගික යථාර්තය බවට පත්ව තිබේ.
ජාතික ප‍්‍රශ්ණය පිළිබඳව අප අනුගමනය කරන පිළිවෙත, නියම පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ දක්වන පිළිවෙතකින් වෙනස් වන්නේ කෙසේදැයි මට නම් දැකිය නොහැක. අප අනුගමනය කොට ඇත්තේ දෙබිඩි පිළිවෙතකි. ජාතීන් අතර ස්වයංxතීරණය සඳහා තිබෙන අයිතිය ලෙනින්වාදී ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා අතරම ජනතා විමුක්ති පෙරමුණේ රජයක් තුල දෙමළ ජනතාවට අත්වන ඉරනම ගැන වෙනම ප‍්‍රතිපත්තියක් ඇත්නම් එය දෙබිඩි පිළිවෙතක් හැර අන් කුමක්ද? ආර්ථික අර්බූදය දැවැන්ත ලෙස උත්සන්න වන හැමවිටකදීම ධනපති පංතිය ජනතා අවධානය ජාතික ප‍්‍රශ්ණය වෙත යොමුකරන්නේය. එබැවින් කෙතරම් දැඩි ආර්ථික දරිද්‍රතාවයන්ට ලක්වූවත් අපේ රටේ පවතින විශේෂ සමාජ ඓතිහාසික තත්ත්වයන් හේතුවෙන් ධනපති ක‍්‍රමයේ පැවැත්මේ මූලික කොන්දේසියක් ලෙස ජාතික ප‍්‍රශ්ණය කරළියට ගෙනැවිත් ඇත. එම ජාතික ප‍්‍රශ්ණය විසින් සමස්ථ ධනපති ක‍්‍රමයම ප‍්‍රත්‍යාවර්ත නොවන අර්බුදයකට ලක්කොට තිබේ. ඉදිරියේදී ද ධනපති ක‍්‍රමය යටතේ එය එසේම සිදුවෙනවා ඇත. එහෙයින් විප්ලවවාදී පක්ෂයක් විසින් සැලකිල්ලට ගතයුතු එක් ප‍්‍රධාන කර්තව්‍යයක් නම් ලාංකික සමාජවාදී විප්ලවයේදී ජාතික ප‍්‍රශ්ණය ඊට බද්ධකොටගෙන කටයුතුකළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ පර්යේෂණාත්මක ලෙස ගවේෂනය කොට ඒ අනුව ක‍්‍රියාකිරීමයි.
සිිංහල හෝ දෙමළ ජාතිවාදයට නතු වීමෙන් මෙය කළ නොහැක. දෙමළ ජනතාව අතරෙන් බිහිවන ඇතැම් සටන්කාමී ව්‍යාපාර මුලින් ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වුවද පසුව ඔවුන් ප‍්‍රගතිශීලීන් ලෙස ඉදිරියට ගමන්කිරීමට සූදානම් නම් ඔවුන් සමග යම් පමණක සබඳතාවක් ඇති කොට ඔවුන් නිවැරදි ප‍්‍රතිපත්ති වටා රොක් කරවා ගැනීම විප්ලවවාදී ව්‍යාපාරයක කටයුත්තක් නොවන්නේ කෙසේද? එසේ නොමැතිව රජයේ මර්ධනයට ලක්වේය යන කරුණ පමණක් හේතුවක් ලෙස යොදාගනිමින් එවැනි සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වැළකී සිටීම ලාංකීය සමාජවාදී විප්ලවයට හිත සුවදායක වේයයි කෙසේ නම් කිව හැකිද? දෙමළ ජනතාව ලාංකීය විප්ලවයේ ධජය වටා ඒකරාශිකොට පෙළ ගස්වා ගත හැක්කේ ඔවුන්ගේ ප‍්‍රශ්ණ සමග බද්ධවී ක‍්‍රියාකාරී ලෙස ඒවා විසඳීමට උද්ඝෝෂණාත්මක බලකිරීමෙකින් මිස ඔවුන්ගේ ප‍්‍රශ්ණවලින් වියෝවී බැහැරව සිටීමෙන් නොවේයයි මම කල්පනාකරමි. මෙම ප‍්‍රශ්ණය පිළිබඳව මම දරන මතය මීට පෙරද ඔබට පැහැදිලිකොට ඇත. ඉන් ඔබ්බට මා දැනට ගමන් කොට ඇති නිසා මේ පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් නොකරමි.
අප අනුගමනය කරන අධ්‍යාපන වැඩ පිළිවෙලට අනුව යූ. ඇන්. පී. විරෝධී ධනේශ්වර බලවේග හා පැරණි සම්ප‍්‍රදායික වමේ පක්ෂ සමග උපක‍්‍රමික ලෙස අනුගමනය කළ හැකි කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැන සඳහන්් නොකරන හෙයින් එවැනි උපක‍්‍රමික වැඩපිළිවෙලක් අනුගමනය කළයුතු වූ හැම විටකම පාහේ පක්ෂ අභ්‍යන්තරයේ පැනනැගුන අර්බුද හමුවේ පක්ෂ නායකත්වය, පක්ෂය විනාශයට පත්වේය යන බිය හේතුවෙන් එම වැඩපිළිවෙලවල් මගදී අතහැර දැමීම සිදුවූයේය. අන් සංවිධාන සමග සාකච්ඡා හෝ උපක‍්‍රමික ක‍්‍රියාමාර්ගවලට එළැඹි හැම විටකම පාහේ අන්‍ය ජන කොටස්වලින් හුදෙකලාවී වියෝවී මනෝමූලිකව ක‍්‍රියාකරන අපේ පක්ෂයේ සොයුරන් දැඩි ලෙස එම ක‍්‍රියාමාර්ගවලට විරෝධය පෑ අවස්ථා එමටය. රටේ ඇති පොදු තත්වය මත එවැනි ක‍්‍රියාමාර්ගවල තිබෙන අවශ්‍යතාවය අපේ සාමාජිකත්වයට පහදාදීමට අපට නොහැකිවී ඇත. ඒ හේතුවෙන් අප හැමවිටම ක‍්‍රියාකොට ඇත්තේ අපේ පක්ෂයට මර්ධනයක් එළඹෙන හැම විටෙකම පමණක් ඔවුන්ගේ උදව් හා සහාය පැතීමටයි. එහෙයින් අප ගැන අවිශ්වාසයක් හා අවිනිශ්චිතභාවයක් තම සාමාජිකත්වය තුල සංවිධානාත්මකව ගොඩනැගීමට අන් සංවිධානවල නායකත්වයන්ට හැකියාව ලැබී තිබේ. අපේ පක්ෂය තුල ආවේණික මෙම නොමේරූ අපරිනත ලක්ෂණය විසින් අප පක්ෂය එක්තරා කට්ටිවාදී ස්වරූපයකට යොමුකොට ඇතැයි මම අදහස් කරමි.
මේ හැරෙන්නට පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රශ්ණ හේතුවෙන් පැනනැගුනු අර්බුද විසඳීමේදී අනුගමනය කරනලද සංවිධානාත්මක ක‍්‍රියාමාර්ග පිළිබඳව මගේ කිසිදු අනුකූලතාවයක් නැත. පුද්ගලයන්ට හෝ සංවිධානවලට එරෙහිව පුද්ගලයන් හෝ සංවිධාන තුල ප‍්‍රශ්ණ පැනනැගුනවිට ඒවා විසඳීමේදී හැමවිටකම නිළධාරිවාදී ලෙස පක්ෂය ක‍්‍රියාකොට තිබේ යයි මා තුල වෙනස් නොකළ හැකි ලෙස සටහන් වී හමාරය. පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍ය කමිටුව තුලදී මම මේ පිළිබඳව දරන අදහස් පැහැදිලිකොට ඇත. එම ප‍්‍රශ්ණ විසඳීමේදී අප අතර බරපතල වෙනස්කම් පැනනැගුන බව ඔබට මතක ඇතැයි සිතමි.
දැනට රටේ ආර්ථිකය තුල මතුපිටින් කෙතරම් උද්දීපනයක් පෙනෙන්නට සලස්වා තිබුනද ඉදිරි කාල පරිච්ඡේදය තුලදී දෑවැන්ත අර්බූදයක් ඉස්මතු වීම වලක්වා ලිය නොහැකිය. රටේ විෂයමූල තත්ත්වයන් එවැනි අයුරින් පරිණතභාවය කරා ගමන් කරද්දී විප්ලවීය මනෝමූල සාධකයන් මුහුකුරා යන තත්ත්වයක් දක්නට නැත. ඒ වෙනුවට ඇත්තේ විප්ලවවාදී පක්ෂයක හා නායකත්වයක ඌනතාවයකි. පොදුවේගත්විට සම්ප‍්‍රදායික මෙන්ම නව වමේ ව්‍යාපාරය ද දැඩි ලෙස දුර්වලවී හෝ දුර්වල කොට ඇත. විප්ලවීය ව්‍යාපාරය වඩ වඩාත් අපහසුතාවයට පත් කරමින් ධනපති පංතිය අත්තනෝමතික ඒකාධිපතිත්වයක් කරා පෙරට යමින් සිටියි. මෙම තත්ත්වයන් ධනපති හමුදා ආඥාදායක්තවයකට තෝතැන්නක් බඳුයයි කිව හැකිය. මෙවැනි තත්ත්වයක් තුල රටේ ජනතාවත් වාම ව්‍යාපාරයත් මහත් විනාශයට ලක්වීමේ පෙර නිමිති දක්නට ඇත. මෙම තත්ත්වය තුල ජනතා විමුක්ති පෙරමුණ ඉටුකරනලද හා ඉටුකරන මෙහෙවර ගැන අවංකවම අපට සතුටුවෙකවා වෙනුවට හඬා වැලපීමට සිදුවී තිබේ. අද ඇතිවී තිබෙන තත්ත්වයට වගකිව යුතු වන්නේ පළමුවෙන් ධනපති පංතිය හා උන්ගේ ගැත්තනුත්, දෙවැනි වශයෙන් ජනතා විමුක්ති පෙරමුණත් බව මගේ අවංක මතයයි. මෙම තත්ත්වය ක්ෂනික ලෙස වෙනස්කළ නොහැකිය. ජාතික ප‍්‍රශ්ණය විසින් ජනිත කරවනු ලබන, නිර්මානය කරනු ලබන විෂය මූල වාස්තවික තත්ත්වන් හමුවේ පමණක් ම සමාජවාදී විප්ලවය ඉදිරියට ගමන් කරනවා ඇත. මෙවැනි තත්ත්වයක් තුල ජනතා විමුක්ති පෙරමුණ විසින් එහි ස්වරූපයෙන් හා සංවිධාන පදනමින් ඉටුකරන ලද ඓතිහාසික දේශපාලන මෙහෙවර නිමාවකට පැමිණ ඇති බව මගේ නිගමනයයි.
1971 දී බන්ධනාගාරය තුල අනෙක් සොයුරන් සමග එක්වී ජනතා විමුක්ති පෙරමුණ යලි ගොඩනැගීමට උර දෙද්දී මගේ අදහස වූයේ පක්ෂය ගොඩනැගූ පසු නායකත්වයේ වගකීම්වලින් ඉවත්වීමටයි. ඉවතට පැමිණ කටයුතු කරගෙන යද්දී මෙම තත්වය වෙනස් වූ නමුත් 1982 මැද වාස්ලාගේ ප‍්‍රශ්ණය, මොරීන්ලාගේ ප‍්‍රශ්ණය පිළිබඳව පක්ෂය අනුගමනය කරන ලද ක‍්‍රියා කලාපය, සහෝදරවරුන්ට හා සංවිධානවලට පැන නගින ප‍්‍රශ්ණවලදී පක්ෂය අනුගමනයකරන ක‍්‍රියා පිළිවෙත ආදිය ගැන මම දැඩි කළකිරීමට පත්ව සිටියෙමි. මගෙන් කෙරෙන වැඩ ප‍්‍රමාණයද අඩුවී ගිය නමුත් හැකි පමණින් කටයුතු කළෙමි. ජනාධිපතිවරණයෙන් පසු ඇතිවූ තත්ත්වය හමුවේ යලිත් පක්ෂය ගොඩනැගීමට ක‍්‍රියාකිරීමට සිදුවිය. එහෙත් තත්ත්වය තව තවත් නරක අතට හැරුනා මිස යහපත් වූයේ යයි කිසිසේත් කිවනොහැකිය. රහස්පොලීසියේ මා රඳවා සිටිද්දී මා ක‍්‍රියාකලේ මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ පක්ෂය හා මා කල දේශපාලනයේ යුක්ති සහගත භාවය හා ගරුත්වය රැකගැනීම සඳහාත්, පක්ෂයට යලිත් නීත්‍යානූකූල තත්ත්වයක් යලි ඇති කරලීම සඳහාත්, ඉන්පසු පක්ෂ නායකත්වය තුල මා දරන වගකීම්වලින් ඉවත් වීමත් සඳහා සිත සකස් කොට ගෙනය.
පක්ෂයේ සිටින කිසිම සහෝදර සහෝදරියෙක් සමග මගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නැත. මා දුටුවේ පක්ෂයේ පොදු මෙන්ම පෞද්ගලික පිරිහීයාම පිළිබඳව සහ නව දේශපාලන ප‍්‍රවනතා පිළිබඳව මා දරන අදහස්ය. දැනට ජනතා විමුක්ති පෙරමුණට වඩා ඉදිරියෙන් තිබෙන සංවිධානයක් ගැන මට කිසිත් පැවසිය නොහැක. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ක‍්‍රියාත්මක නොවෙමි. ස්වාධීනව සිටින මාක්ස්වාදියකු වශයෙන් කටයුතුකිරීමට මම බලාපොරොත්තුවෙමි. මා ආධාර කල යුතු යයි හ`ගින පුද්ගලයන්ට හෝ සංවිධානවලට ආධාර හා අනුබලය ලබාදීමත්, ස්වාධීනව සිටිමින් ලාංකීය විප්ලවීය දේශපාලනයේ ඉදිරි ගමනට ඉවහල්වන යමක් ගැන මට කලහැකි සුළු දෙයක් හෝ වේ නම් එය කිරීමටත්, රටේ ඉදිරියේ ඇතිවන දේශපාලන වර්ධනයන් ගැන සැලකිල්ලෙන් සිට ඒ පිළිබඳව තීරණ ගැනීමටත් මම අදහස් කරමි.
ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි කරගැනීමට හැකි යයි මම කල්පනා නොකරන නිසාත්, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට වඩා නිවැරදි දේශපාලන සංවිධාන ඉදිරියේ මතුවන දේශපාලන වර්ධනයන් තුලින් පැන නැඟිය හැකි නිසාත් මම මෙම තීරණයට එළඹුන නමුත් මා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ස්වාධීන බවට පත්වීමත් සමග ඇති වනු ලබන ක්ෂණික ප‍්‍රශ්ණ ලිහිල් කර ගැනීම සඳහා මට කල හැකි යම් දෙයක් වේ නම් ඒ ගැන සලකා බැලීිමට මා සතුටුයි. මට ඇති පෞද්ගලික ප‍්‍රශ්ණ නිසා මා දේශපාලනයෙන් ඉවත් වූ බව ප‍්‍රකාශ කල හැකිය. ඔබට කැමති දෙයක් පවසන්න. මා නිහ`ඩවනු විනා පක්ෂයේ සතුරෙක් වීමෙන් වළකිමි. පක්ෂය සතුරු සංවිධානයක් ලෙස සලකා එයට හානිකිරීමට මා කල්පනා කලේ නම් එසේ කිරීමට මට අවස්ථා ගණනාවක් ලැබුන බවත් එහෙත් එසේ කිරීමට මා අතීතයේදී කල්පනා නොකලා මෙන්ම ඉදිරියේදීද කල්පනා නොකරන බවත් අවධාරණය කරමි.
මගේ සංවර්ධන සභා මංත‍්‍රී ධුරය අහිමි කිරීමට තවමත් ගාල්ලේ සංවර්ධන සභාව ක‍්‍රියාකොට නොමැති හෙයින් එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත්, පක්ෂයේ ප‍්‍රධාන ලේකම් හා දේශපාලන මණ්ඩලයෙන් ද පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත්වීමේ ලිපියත්, පක්ෂය සතුවූ එහෙත් මා නමින් පවතින භාණ්ඩ සඳහා පැවරුම් ලිපියකුත් මේ සමග ඉදිරිපත් කොට ඇත. මුලින් එක වූ පරිදි පක්ෂයේ භාණ්ඩ හා වාහන විකුණා මුදල් කර දීමට මා කටයුතු කලත් අද සිට එම කටයුත්තෙන් ද මා සම්පූර්ණයෙන් නිදහස් වෙමි. මා සතුව තිබුනු ෆයිල් සියල්ලම සුමිත් සහොදරයාට භාරදී ඇත. මා සතුව තිබූ පක්ෂයේ භාණ්ඩ කිරුළපන තබා තිිබූන අතර ඒවාද සුමිත් සහෝදරයා භාරයේ ඇතැයි සිතමි.
1971 ට පෙර අප තුල ඇතිවූ අති-වාම ප‍්‍රවනතාවය 1977 න් පසු අති දක්ෂිණාංශික ප‍්‍රවනතාවයක් බවට පරිවර්තනය වූ බව මට කිව හැකිය. එසේම යලිත් මෙම දක්ෂිණාංශික ප‍්‍රවනතාවය අති-වාම ප‍්‍රවනතාවයක් ලෙස පෙරට ආ හැකියි. අප ගොඩනගන ලද අන්දමේ ව්‍යාපාරයක එවැනි සයින චක‍්‍රියාකාර ගමන් මගක් ගැනීම නිසග ලක්ෂණයක් බව ජාත්‍යන්තර අත් දැකීම් තුලද දැකිය හැකිය. 1977 න් පසු අප දරන ලද අසීමිත පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස ගොඩ නගනු ලැබූ පක්ෂ හා බහු සංවිධාන ජනාධිපතිවරණයෙන් පසුත්, 1983 ජුලි මස දියත්කල මර්ධනයෙන් පසුත් දියවී ගොස් ජනතාව අතර අප සාතිශය සුළුතරයක් බවට, සංවිධානමය වශයෙන් ඉතා දියාරු තත්ත්වයකට පත්වී තිබෙන මෙම අවස්ථාවේ එම තත්ත්වය ජනතාවගෙන් ද පක්ෂයේ ශේෂවී සිටින සුලූතරයෙන් ද , මිතුරු සංවිධානවලින් ද වසන්කොට යථාර්තය සවා යලි අධිතක්සේරු කිරීම් හැම කෙනෙකු තුලම ජනිත කරවමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීමටත් එසේම සුලූතරයක් විසින් අති-වාම ක‍්‍රියාවන් වෙත යොමු වීමටත් තිබෙන ප‍්‍රවණතාවය පිළිබඳව මට තිබෙන සීමිත හෝ වූ අවබෝධය උඩ එක් අවසාන ඉල්ලීමක් කරන්නෙමි. එවැනි අතිxවාම කි‍්‍රයාවකින් ලාංකීය සමාජවාදී විප්ලවයට අති භයානක හානි හා විනාශයන් ඇති කරවන බව සක්සුදක් ලෙස පැහැදිලි බැවින් එවැනි ක‍්‍රියාවල නොයෙදෙන ලෙස ඔබෙන් ඇයද සිටීමයි. එසේ නොමැතිව අතිධාවනකාරී ලෙස ක‍්‍රියා කලහොත් එය පැහැදිලිවත්, අව්‍යාජ ලෙසත් 1971 අප්‍රේල් අමතක කිරීමක් වනවා නොඅනුමානයි.
මෙම ලිපිය පක්ෂයේ හැම සාමාජිකයෙකුටම ඉදිරිපත් කිරීමට ක‍්‍රියා කරන ලෙසත් , මෙහි සඳහන් කරුණු පිළිබඳව පක්ෂය එක නම් කළ හැකි හොඳම දෙය වන්නේ සමස්ත පක්ෂ නායකත්වය ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව වගකීම මුලූමණින් භාර ගනිමින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂ සමළුවක් තුලින් නව නායකත්වයක් තෝරා පත් කර ගැනීමට ඉඩකඩ ලබාදීම බවත්, මා පක්ෂය තුල ක‍්‍රියාකාරී වූ වසර පහළොවකට ආසන්න කාලය පුරා මා සමග එකට අන්‍යොන්‍ය සහෝදරත්වයෙන් ක‍්‍රියා කරමින් කැප කිරීම් කල සෑම සියලූ සහෝදර සහෝදරියෙකුටම මගේ අවංක සහෝදරාත්මක කෘතඥතාවය පළ කර සිටින බවත්, ඒ කාලය තුල පෞද්ගලිකව හෝ පොදු පක්ෂ තීරණ මත හෝ අසාධාරණයට ලක්වූ හැම කෙනෙකුගෙන්ම මා අවංකව සමාව යදින බවත්, මගේ මෙම ඉවත්වීම කම්පනයක් කොට නොගනිමින් සමාජවාදී විප්ලවය සඳහා හැම කෙනෙකුගෙන්ම ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටුකිරීම හැම කෙනෙකුගේම අව්‍යාජ යුතුකම හා වගකීම ලෙස සලකා කටයුතු කරන ලෙසද, අපේක්ෂා භංගත්වයට පත්ව විනාශකාරී තත්ත්වයන් ඇති නොකරන ලෙස ද හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටීම මැනවැයි මා කල්පනාකරන බවත් මෙහි සඳහන් කල යුතුය.
කාලයක් පුරා අඩුවැඩි ලෙස මා සමග කටයුතු කළ ඔබ සියලූ දෙනාගෙන්ම සහෝදරාත්මකව සමු ගන්නෙමි.
ලාංකීය පීඩිත ජනතා ව්‍යාපාරයට ජයවේවා!
ලාංකීය සමාජවාදී විප්ලවයට ජයවේවා!!
මෙයට සහෝදරත්වයෙන්
ලයනල් බෝපගේ
1984. 02. 29

No comments:

Post a Comment